සුඛෝපභෝගී මෝටර් රථයකින් කොකේන් හා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන මහපරිමාණ ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසට ගිය පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාර බළකායේ නිලධාරීන් ගමන්ගත් වාහන දෙකක් ඇතුළු වාහන හයක හප්පා හානි කර එම සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන්ම පලා ගොස් ඇතැයි, පොලිසිය කියයි. මෙම සිද්ධිය පෙරේදා (15 වැනිදා) පස්වරු 4.15ට පමණ වී ඇති අතර, සැකකරුවන් පලාගිය මෝටර් රථය කොළඹ පිත්තල හදිය ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර රට ගාලක සගවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පලාගිය දෙදෙනා මෙරට තුළ කොකේන්, හොරොයින්, මල්පෙති, මත්මුද්දර, මහපරිමාණයෙන් සිදු කරන ජාවාරම්කරුවන් බවටත් ඔවුන් කිරුළපන සුඛෝපභෝගී නිවාස සංකීරිණයක පදිංචිකරුවන් බවටත්, පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් කොකේන් සහ ගැම් 10ක් හා හොරොයින් පාර්සල් දෙකක් වෙනත් ජාවරම්කරුවන්ට ලබාදීම සඳහා මෝටර් රථයෙන් යුනියන් පෙදෙසේ ස්ථානයකට පැමිණෙන බවට පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාර බළකායට ලැබුණු තොරතුරු අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයේ රැකවලලා සිටියදී සැකකරුවන් පස්වරු 4.15 ට පමණ මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ගැනුම්කරු පැමිණෙන තෙක් රැඳී සිටි බව පොලිසිය කියයි.
එහි දී පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වු අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථය වෙත ගොස් එහි දොරගුලුලාගෙන සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. පොලිස් නිලධාරින් ඔවුන්ට පැන යාමට නොහැකි වන සේ පොලිස් යතුරු පැදියක් හා ත්‍රිරෝද රථයක් මග හරස් කර නවතා, තවත් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වු අවස්ථාවේ සැකකරුවන්, පොලිස් වාහන දෙකේ හප්පා ඔවුන්ගේ රථය පිටුපසට ධාවනය කර, එහි නවතා තිබූ තවත් මොටර් රට දෙකක, ත්‍රිරෝද රථයක හප්පා පලාගොස් ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය. මෙම අවස්ථාවේ කාර්යාල සේකාවන් ඇතුළු විශාල පිරිසක් එම අවට ප්‍රදේශයේ රැඳී සිටීම හේතුවෙන් පොලිසියට වෙඩි තැබීමට හැකියාවක් නොවූ බවද පොලිසිය පවසයි.
වාහන පහක හප්පා පලාගිය මෝටර් රථය පසුපස පොලිස් නිලධාරින් හමා ගියද එම මෝටර් රථය පලාගොස් ' ඇතැයි පොලිසිය කියයි. පසුව පොලිස් නිලධාරින් එම මාර්ගය අවට සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී එම රථය ගංගාරාම විහාරය දෙසින් පිත්තල හන්දිය දෙසටත්, පිත්තල හන්දියේ විහාරමහාදේවි උද්‍යානය දෙසට ඇති ධර්මපාල මාවතේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ රථගාලේ වාහනය නවනන අයුරු දැක ඇත. සැකකරුවන් රථගාලේ මෝටර් රථය නවතා, පාගමනින් මාර්ගයට දිව යන අයුරුත්, ඒ සමගම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුට ඔවුන් අත තිබූ පාර්සල් දෙක ලබා දෙන අයුරුත් සී. සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබූ බවද පොලිසිය කියයි. පලාගිය සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති අතර ඔවුන් පදිංචි කිරුළපන සුබෝපභෝගී මහල් නිවාසය පරීක්ෂාවට ලක් කළත් ඔවුන් එම නිවාස වල සිට නොමැති බව පොලිසිය පවසයි.
-ඉන්දිකා රාමනායක -
Comments
Post a Comment
Your comment will be visible after approval