රිච් පැක් වර්ගයට අයත් බිබී, සුවිනීතා ඇන්ටනී අතට පත් වන්නේ මීට වසර දෙකහමාරකට පමණ පෙරදීය. ඒ තවත් සහෝදර සහෝදරියන් දෙදෙනකු සමඟිනි. සුවිනීතාට මේ සුරතලුන් ලැබෙන්නේ මිතුරියකගෙනි. බිබීගේ මව පැටව් කිහිප දෙනකු මෙලොවට බිහි කර තිබුණ අතර ඉතිරිව සිටි තිදෙනාම සිය නිවහනට රැගෙන එන්නට සුවිනීතාට සිතුනේ බල්ලන් කෙරෙහි ඇති දැඩි බැඳීම හා ආදරය නිසාමය. ජපන් ආයතනයක සේවය කරන ඇයට එම ආයතනයෙන් නිවෙසක්ද සපයා තිබිණි. මීට අවුරුද්දකට පමණ පෙර ඇය නිවෙසේ පදිංචියට එන්නේ එ තිදෙනාත් රැගෙනය. ඇය සමග වැඩිමල් සහෝදරියක් ද සිටින අතර දෙදෙනාට තනි නොතනියට මෙන්ම ආරක්ෂාවටද සිටියේ මේ රිච් පැක් දෙනාය. මේ අතරින් බිබිගේ හැසිරීම වෙනස්ය .සෙල්ලමට කැමැතී ඇය සුවිනීතලා ආරක්ෂා කරන්නට වූයේ මව් පියන් ලෙසිනි.
එහෙයින් බිබීට මෙන්ම අනෙක් දෙදෙනාට සුවිනීතාගෙ ලැබුණ සැලකිල්ලද උපරිමයි.
මෙලෙස සුවිනීතලා සුනඛයන්ට දැඩිලෙස ආදරය කරද්දී අසල නිවෙසක බල්ලන් පෙන්නන්නට බැරි පුද්ගලයකු ජීවත්වීම යම් නොගැලපෙන තත්වයක් විය. ඊටත් වඩා තනිවම ජීවත්වන කාන්තාවන්ට වැඩි හිතවත්කම් පෑමත් කොට කලිසමක් පමණක් හැඳඋඩුකය නිරුවතින් මෙ නිවෙස අසලට පැමිණ කතාබහ කිරීමට යැමත් මේ දෙදෙනාගෙ සිත් ගන්නේ නැත. ඔවුන් මේ ගැන එම පුද්ගලයාගේ බිරියට පවසන්නේ මේ තත්වය මගහරවාගන්නට හොඳම දෙය එය බව වැටහුණ නිසාය. ගත් පියවර සාර්ථකවිය. නිවෙස අසලට පැමිණීම නතර වුණා පමණක් නොව මග තොටදී දුටුවිට අහක බලාගෙන යෑමට තරම් ඔහු වෙනස්වී තිබුණේ යම් වෛරයක්ද සිතේ සගවාගෙන බව මේ දෙසොහොරීයෝ දැන සිටියේ නැත.
මිනිසුන්ගෙන් ගන්නට බැරි පලිය එ මිනිසුන් පණ මෙන් ආදරය කරන බල්ලන්ගෙන් ගැනීම සමහර මිනිසුන්ගේ ක්රමවේදයයි.උස් වූ මනසක් ඇතිය යන අර්ථයෙන් හෝමෝසාපියන් මානවයාට මිනිසා යන නාමය ලබාදී ඇතත් සංහතියන් බහුතරයක් හැසිරෙන්නේ මනසක් තියා කිසි ගුණ ධර්මයක් නැත්තවුන් ලෙසිනි. අසල්වැසියා ද එලෙස හැසිරෙන්නට වූ අතර ඔහුගේ රුදුරු දැස් නිරන්තරයෙන් යොමු වී තිබුණේ සෙල්ලක්කාර බිබී දෙසටය. තාප්පය අසල තබා ඇති පෙට්ටයට නැගී තාප්පයෙන් පැන පාරට ගොස් මිතුරු මිතුරියන් හමුවී සෙල්ලම් කොට අසල ඇති තණ බිස්සේ දීගාවී ඇඟ පතේ ඇති දුවිලි,දහඩිය පිසදාගෙන යළිත් වරක් තාප්පයෙන් පැන නිවෙසට පැමිණීමට බිබී පුරුදුව සිටියේ කාලයක සිටය.
ඒ පසුගිය මස 29 වැනි දාය. එදින සවස හතරහමාරට පමණ බිබී තාප්පයෙන් පැන පාරට යන්නේ සුපුරුදු චර්යාව වෙනුවෙනි. එහෙත් එවන විටත් කෘර නෙත් යුගලක් තමන් වෙත එල්ලවී තීබෙන බව මේ අහිංසක බීබී දැන සිටියේ නැත. බිබී නොව සුවිනීතා හෝ එවැන්නක් දැන සිටියානම් බිබීට තාප්පයෙන් පැන එළියට යන්නට නොදෙනවා නියතය.එහෙත් බිබී එදින තාප්පයෙන් පැන්න අවසන් පිම්ම බව මේ කිසිවකු දැන සිටියේ නැත. පාරේ එහා මෙහා යමින් සිටි බබි දෙසට පොල්ලක් එල්ල වූයේ නොසිතු ලෙසිනි.
එනම් යමෙකු ඇත සිට පොල්ලක් විසිකර බීබිට පහරදුන්නේය. සාමාන්‍යෙයන් පව්කාරයගේ ඉලක්කය නිවැරැදිය. එල්ල වූ පොලල්ල බිබීයගේ සිරුරේ වැදී ඇය යම් යම් තරමකට අඩපන වූ අතර වහා තාප්පය දෙසට දිව යන්නේ ඉන් ඇතුලට පැනගැනීමට හැකිවෙතැයි සිතාගෙනය. එහෙත් වැදුණු පොලු පහරින් බිබීගේ සිරුරේ වූ ශක්තිය හීන වී ගොස් තිබිණී. බලු වීරෝධියාට මෙය හොඳ චාන්ස් එකක් විය. විසිකළ පොල්ල අහුලාගත් ඔහු, හාම්පුතාගේ ගෙවත්තේ තාප්පය අසල සිටි බීබි වෙත එන්නට වූයේ ත්රස්ථවාදියකුට එරෙහි සටනකට යන සෙබළකු තරම් වේගයෙන් හා ආවේගයෙනි.එලෙස පැමිණි ඔහු දැත් බදා බිබීගේ හිසට පොල්ලෙන් පහර දෙන්නට වූයේ අණක් ගුණක් හෝ පවක් පිනක් ගැන නොදන්නා උස් වූ මනස පහත් වු තිරිසනකු ලෙසිනි. එල්ල වූ පහරවලින් බිබී එම ස්ථානයේම මිය යන්නේ කුරිරු මිනිසුන් අතින් ඝාතනය වූ අහිංසක බල්ලන්ගේ ගොඩට සිය නාමයද එකරවමිනි. මේ බව දැනගත් සුවිනීතලාටඉහිලුම් නැතිවිය. ඔවුන් වහා කඩුවෙල පොලිසියට එන්නේ එ නිසාය. මේ සම්බන්ධ පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා කණ්ඩායම යැවිමට කටයුතු කළේ මිනිසාගේ මෙන්ම බල්ලාගේ ජීවිතයද ජීවිතයක්වන නිසාය.
බිබීගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කරන්නේ අධිකරණ නියෝග මතය. හෝමාගම පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යන බිබිගේ දේහය කපා පරීක්ෂ කර පශු වෛද්‍ය ආර්එල් රණසිංහ මහතා විසිනි. එහිදී නිගමනය වූයේ හිස ඉදිරියට තද පහරවල් කිහිපයක් එල්ල වී මොළයට ලේ බැසීම හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.මෙම වාර්තාව ලැබුණ වහාම බීබීගේ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. ඔහු පැවසුවේ මේ බල්ලා පාරට පැන තම දියණිය සපා කෑමට උත්සාහ කළ බවත් තමන් පොල්ලෙන් පහර දූන්නේ දියණිය බේරාගැනීමට බවය. එහෙත්, සුවිනීතලා කියා සිටියේ බිබි කිසිදිනෙක කාවවත් සපා නොකන, කවුරු හෝ සමග සෙල්ලම් කිරීමට කැමැති බල්ලකු බවයි. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණ අතර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කැරිණි,මැයි මස 06 වැනිදාට නඩුවක තැබිණි.
මෙම සිද්ධිය වූ ප්‍රදේශයේ විදි සුනඛයන් බොහෝ සිටින අතර ඉන් සමහර පුංචි කාලේ සුරතලයට ගෙනැවිත් ලොකු වුණාම පාරට දැමූ බල්ලන්ය .එවැනි බල්ලන් විස් තිස් ගණනකට කැම බීම දෙන අයද මේ පැත්තේ සිටිති. ඒ හේතුවෙන් නිවෙස්වල සාදන බල්ලන් අසනීප වුවට පවා පාරට දැමීමට සමහරු පෙළඹෙන්නේ කුමන ආගමක් ඇදහුවත් ඒ නායකයන්ගේ දේශනවලට පිටුපාමිනි, සත්වයකු ඝාතනය කිරීම එතරම් අපරාධමය වරදක් නොවන නිසා ඔහුට මෙලෙස සුලු ඇපයක් නියම වන්නට ඇත. එහෙත් කළ පාප කර්මය මොහුට මේ භවයේදී ගෙවා නිම කිරීමට නොහැකි වනු නියතය.මෙලස සුනඛයන්ට බළලුන්ට හිංසා පැමිණ වීම හා ඝාතනය සමහරුන්ට විනෝදාංශයකි. මේ විනෝදාංශයේ මහිමය වැටහෙන්නෙ තමන්ටත් එ වැනි අත්දැකීමකට මුහුණ දෙන්නට වූ විටය.අබ ඇටයක් පැල කළ විට අබ අහුරක් ලබාගත හැකිය. එනම් වැපිරු දේ ඵලය ලෙස ලැබෙන විශාල ප්‍රමාණයකින් වැඩිවය,යමකු මෙවැනි අපරාධයක් කළ විට කර්මය පසුපස හඹ එන්නේ ද එලෙස දස දහගුණයකින් වැඩිවීමෙන් අනතුරුවය.
වාහන අනතුරවලින් අත්පා අහිමිවීම, කුමන හෝ රෝගයකින් එක්තැන්ව මියයන තුරුම දුක්විඳීමට සිදු වීම මෙන්ම වයසට යනවිට පාරට වැටීමද මෙවැනි පව්කාරයන්ට සිදුවන කර්ම පලදීම්ය. වර්මානයේ සිය කායික ජවය ගැන පමණක් සිතමින් සතුන්ට පමණක් නොව මිනිසුන්ට පවා කරදර හිරිහැර කරන සියල්ලන්ටම අවසන් හුස්ම පොද හෙලීමට පෙර සියල්ලම මතකයට එනු නියතය.එවිට ඔහු මිය යන්නේ කුසල් සිතුවිල්ලක් සමඟ නොව පව්කාර සිතුවිල්ලක් සමගය.එවිට එන භවයද බෙහෙවින් දුක්ඛදායකවනු ඇත.
-තක්ෂිලා ජයසේකර-
Comments
Post a Comment
Your comment will be visible after approval