missing-German-woman-found--in-Negombo

මිතුරියක් හමුවීම සඳහා ශ්‍රී  ලංකාවට පැමිණි තම ජර්මානු ජාතික බිරිය අතුරුදන් වී ඇති බවත් ඇය
ඝාතනය කර ඇතැයි සැකයක් පවතින හෙයින් ඇය සොයා දෙන ලෙස ඉල්ලා ඇගේ ශ්‍රී  ලාංකික සැමියා
පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම්
හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඝාතනයට ලක් වූ බව කී ජර්මානු කත තවත් පුද්ගලයකු සමඟ
සිටියදී මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.



පොලිස්පතිවරයා විසින් යොමු කරනු ලැබූ එම පැමිණිල්ල ඔස්සේ දීර්ඝ විමර්ශනයක යෙදුණු එහි අධ්‍යක්‍ෂ
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත දින විස්සක කාලයක් තුළ ජර්මානු
ජාතික කාන්තාව සොයාගෙන තිබිණි.

මෙම සිද්ධිය ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ආන්දෝලනයකට ලක්වූ පුවතක් වූ අතර මේ නිසා පොලිස්පතිවරයා
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක්ද යොමුකර තිබිණි.

මෙම ජර්මානු කත ශ්‍රී  ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා බව කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය. ශ්‍රී  ලාංකිකයකු සමඟ
විවාහ වී සිටි ජර්මනියේ පදිංචිව සිටින ඇයට දරුවන් දෙදෙනෙකි. ඇගේ ජර්මානු මව හා පියා පදිංචිව
සිටින්නේද ඇය සමඟය.

ඒ අතරතුර ඇගේ මිතුරියක් හමුවීම සඳහා සැමියාගෙන් හා මවුපියන්ගෙන් ලත් අවසරය මත ඇය ඉකුත්
අප්‍රේල් මස ශ්‍රී  ලංකාවට පැමිණ තිබිණි.

මේ අතරතුරදී ඇගේ පියා හදිසියේම ජීවිතක්‍ෂයට පත්ව ඇත. පියා මියගිය බව ඇයට දැනුම්දීම සඳහා
ඇගේ මවත් සැමියාත් සොහොයුරියත් දැඩි උත්සාහයක් ගෙන තිබිණි. කෙසේ හෝ ඇයට ඒ බව දැනුම්දීමෙන්
පසු පියාගේ අභාවය ගැන ඇය එතරම් සැලකිල්ලක්  දක්වා නොතිබිණි.

මේ අතරතුර ඊට දින කිහිපයකට පසු ඇය සිය සැමියාට දුරකථන හඬපටයක් එවමින් පවසන්නේ ඇය කිසියම්
පුද්ගලයන්ගේ ග්‍රහණයට හසුවී ඇති ආකාරයකි. ඇය කතා කිරීමටද අමාරු තත්ත්වයකින් පසුවන බව ඇගේ
හඬපටයෙන් සැමියාට අවබෝධ වී තිබිණි.

මින් කලබලයට පත් ඇගේ සැමියා ජර්මනියේ සිට ඇය සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ඇය සම්බන්ධ
කර ගැනීමට ඔහුට කෙසේවත් නොහැකි වී තිබේ.



ඒ අතරතුර ඇගේ සැමියාට ලැබෙන දුරකථන ඇමතුමකි. එම ඇමතුම ඔස්සේ කතා කරන පුද්ගලයා පවසන්නේ
තම බිරිය ඔවුන් භාරයේ සිටින බවත් ඇය අවශ්‍ය නම් මුදල් දිය යුතු බවත්ය. මෙම ඇමතුමත් සමඟ
කලබලයට පත් ශ්‍රී  ලාංකික සැමියා ජර්මානු පොලිසියටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් කියා
සිටින්නේ තම බිරිය ශ්‍රී  ලංකාවේදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බවය. එහෙත් ඇගේ සැමියා
කප්පම්කරුවන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් ඇය සොයා ගැනීමට තිබූ සියලු වෙහෙස නිම වන්නේ ඇගේ ජංගම දුරකථනයද ඉන් පසුව
ක්‍රියාවිරහිත වීම නිසාය. මින් දැඩි ලෙස කලබලයට පත් ඔහු බිරියගේ අතුරුදන්වීම දන්වමින් පොලිස්පති
සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊමේල් පණිවුඩයක් යවමින් කියා සිටින්නේ තම බිරියට කිසියම් අනතුරක් සිදුවී ඇති
බැවින් ඇයට වූ දේ සොයා දෙන ලෙසය. ඒ මීට මාස තුනකට පෙරදීය.

මේ ඊමේල් පැමිණිල්ල පිළිබඳව දැඩි අවධානය යොමු කරන පොලිස්පතිවරයා එහි විමර්ශන කටයුතු අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. පසුව එම පැමිණිල්ල මනුෂ්‍ය
ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හේමාල් ප්‍රසන්න මහතා වෙත
යොමුවිය.

පසුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන
ඇරැඹීය.

පැමිණිලිකරු බිරිය සිටින ඉසව්වක් හෝ ඊට සම්බන්ධ දුරකථන අංක කිසිවක් නොදන්නා බැවින් විමර්ශනයට මහත්
බාධාවක් විය. එහෙත් ඇය හමුවීමට පැමිණි මිතුරියකගේ නමක් හා ලිපිනයක් පැමිණිල්ලේ සඳහන් වුවද එම
ලිපිනය සොයා ගිය නිලධාරීන්ට එම ලිපිනයේ කිසිවකු පදිංචි නැති බව අනාවරණය කරගත හැකි විය. මේ
නිසා නිලධාරීන්ට කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. එහෙත් විමර්ශන
ඉදිරියටම ගෙන ගිය නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවටද මේ බව දන්වා ජර්මානු කත පිළිබඳ
විස්තර විමසද්දී ඔවුන් පවසා තිබුණේ ඇය තවමත් ශ්‍රී  ලංකාවේ රැඳී සිටින බවත් යළි ජර්මනියට ගොස්
නැති බවත්ය.



පැමිණිල්ලත් සමඟ පැමිණිලිකරු ඔහුගේ බිරියගේ ඡායාරූප කිහිපයක්ද එවා තිබිණි. පසුව ඒ ඔස්සේ විමර්ශන
ඇරැඹූ විමර්ශන නිලධාරීන් එම ඡායාරූප ඔත්තුකරුවන්ට ලබාදෙමින් කරුණු කාරණා සොයද්දී ඒ හා සමාන
හැඩරුවක් ඇති කාන්තාවක් මීගමුවේ රැඳී සිටින බවට හෝඩුවාවක් ලැබී ඇත.

පසුව විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මීගමුවට ගොස් මෙම කාන්තාව දින කිහිපයක් නිරීක්‍ෂණය කිරීමෙන් පසු
ඇගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකි වී ඇත. එවිට අනාවරණය වී ඇත්තේ ඇය මෙරට පදිංචි තවත්
පුද්ගලයකු සමඟ සිය කැමැත්තෙන් මීගමුවේ රැඳී සිටින බවය.

පසුව දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඇය කොච්චිකඩේ පොලිසියට
භාරදී ඇති අතර කිසියම් අවශ්‍යතාවකට ශ්‍රී  ලංකාවෙන් පිටව යන්නේ නම් ඒ බව පොලිසියට දැනුම්දෙන
ලෙසද රහස් පොලිසිය ඇයට පවසා ඇත.

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී  ලංකාව අපකීර්තියට පත් කිරීම සඳහා මෙම ජර්මානු කාන්තාව ශ්‍රී
 ලංකාව තුළදී පැහැරගෙන මරා දමා ඇති බව කිසියම් පිරිසක් ගත් උත්සාහයක් රහස් පොලිසියේ මනුෂ්‍ය
ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරීන්ගේ පුළුල් විමර්ශනය මත දින
විස්සක් ඇතුළතදී අනාවරණය කරගත හැකි විය. එම කොට්ඨාසය මෙම කාන්තාවගේ අතුරුදන් වීම
සම්බන්ධයෙන් විමර්ශන කළේද මිනීමැරුම් විමර්ශනය කරන ආකාරයටය.

කීර්ති මෙන්ඩිස්, කොළඹ - ජයසිංහ