11-age-girl-love
අලුත් පෙම්වතා සමග සිටින ඡායාරූපයක් සහිතව 'අපි යනවා' යයි සඳහන් කර පරණ පෙම්වතාට එකොළොස් හැවිරිදි දැරියක යැවූ වට්ස්ඇප් පණිවිඩයක් නිසා එම දැරිය රැගෙන ගිය විසි හැවිරිදී තරුණයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කහතුඩුව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් එකොළොස් හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.  මෙම දැරිය නිවාඩුවට තම පුංචි අම්මාගේ නිවසට ගොස් සිටිය දී මෙම විසි හැවිරිදි තරුණයා සමග ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර  දැරිය ඔහුට පවසා ඇත්තේ තමාට වයස  17ක් බව යැයි පොලිසිය කියයි.

දැරිය යළි නිවසට පැමිණීමෙන් පසුව ද දුරකථනයෙන් තරුණයා සමග සම්බන්ධ වී ඇති අතර තරුණයා කළ යෝජනාවක් අනුව දැරිය ඔහු හා යෑමට එකඟ වී තිබූ බව පොලිසිය පවසයි.  ඒ අනුව සැකකාර තරුණයා දැරියගේ නිවස සොයා පැමිණ ඇය ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බව ද පොලිසිය කියයි.


මේ සම්බන්ධයෙන් දැරියගේ මවුපියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් අවට  සීසීටීවී කැමරා පරික්ෂා කිරිමේ දී ත්‍රිරෝද රථයකට නැග දැරිය පිටවන අයුරු එහි සටහන්ව තිබූ බව ද පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන් එම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේ දී එහි තොරතුරු හෙළිවීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ත්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනා සුඛෝපභෝගී බස් රථයකින් ගිය බව අනාවරණය වී ඇත. පොලිස් නිලධාරීන් දැරියගේ මවුපියන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම දැරිය මීට පෙර ද තරුණයකු සමග සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඊට තමන් විරුද්ධ වූ බවත් දැනුම් දී තිබේ.




ඒ අනුව පොලිස් නිලධාරීන් එම තරුණ පෙම්වතාගේ නිවසට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ පෙම්වතිය තරුණයකු සමග ගත් ඡායාරූපයක් තම ජංගම දුරකථනයට එවා තිබූ බවත් “අපි යනවා" යැයි කෙටි පණිවිඩයක් ද එවා තිබූ බවත් ඔහු පැවසී යැයි පොලිසිය කියයි.  ජංගම දුරකතනයේ සඳහන්ව තිබූ එම කෙටි පණිවුඩයේ සඳහන් වැඩිදුර තොරතුරු අනුව සිදුකළ පරික්ෂාවේ දී දැරිය රැගෙන ගිය පුද්ගලයා තීනියාවල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් තීනියාවල පොලිසියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව එම පොලිසියේ නිලධාරීන් තරුණයාගේ නිවස වටලා තරුණයා සහ ඔහුගේ මව ද අත්අඩංගුවට  ගෙන දැරිය ද පොලිස් භාරයට ගෙන තිබූ බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සැකකාර තරුණයාගේ මව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 - බිමල් ශ්‍යාමන් ජයසිංහ-