hathurusinghe-case

තම කොන්ත්‍රාත් ගිවිසුම අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්විස්ර්ලන්තයේ ලුසෑන්හි ක්‍රීඩා බේරුම්කාරක උසාවියේ ගොනු කර තිබූ නඩුව ඉවත් කර ගැනීමට චන්දික හතුරුසිංහ පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අදාළ නඩුව පවත්වාගෙන යාමට නිසි බලයක් නොමැති බව පෙන්වාදීම හේතුවෙනි.

එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඊට සහභාගී වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු කණ්ඩායම පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංස්ථාගත ආයතනයක් (INCORPORATED) නොවන බවත් එහෙයින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි. මෙහිදී හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පැවරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වියදම් වූ සියලු නීති ගාස්තු අය කරගැනීමට වෙනම නඩුවක් පැවරට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහගේ නඩුව වෙනුවෙන් නඩු ගාස්තු ලෙස රු. මිලියන 20ක් වියදම් කර ඇති බව කෝප් කට්ටුවේදී අනාවරණය විය.

කෙසේ වෙතත් හතුරුසිංහ ඔහුට සිදුවූ අසාධාරණයට තවත් නඩුවක් දැමීමට කටයුතු කරමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. එනම් ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමේදී එවකට. පරිපාලනයේ සිටි සියලුම විධායක කමිටු සාමාජිකයන්ට අලුතින් නඩුවක් පැවරීමට ඔහු තීරණය කර ඇති බව පැවසේ.

(පැතුම් ශ්‍රී විජේරත්න)