Tourist-dragging-a-crocodile-at-a-Philippine-amusement-park-Video

පිලිපීනයේ Cagayan de Oro City හි Amaya View විනෝද උද්‍යානය නරඹන්නට ගිය සංචාරකයෙකු එහි පොකුණක් අසළ නැවතී කිඹුලෙකු පසුබිමෙන් තබා ඡායාරූපයක් ගන්නට ගිය අවස්ථාවක කිඹුලා එක්වරම ඔහුව ඩැහැගැනීමට උත්සාහ කර ඇති අතර ඔහුගේ ජීවිතය අනූනමයෙන් බේරිනි.
නෙහෙමියාස් චිපාඩා නමැති 68 හැවිරිදි පුද්ගලයා සිය පවුලේ අය සමග විනෝද උයන නරඹද්දී මෙම අනතුරට ලක්විය. එම උද්‍යානයේ සැබෑ සතුන් මෙන්ම කෘත්‍රීම ලෙස නිමැවූ සතුන් තැන් තැන්ව පිහිටුවා තිබූ බවත් ඡායාරූපය ගන්නා අවස්ථාවේ කිඹුලාට සමීප වී ඡායාරූප ගත්තේ ඒ කෘත්‍රීම සතෙකු යන උපකල්පණය මත බවත් අනතුරට පත් පුද්ගලයා පවසා ඇත.


සැබෑ ප්‍රමාණයේ නිරූපණයක් ලෙස රැවටී කිඹුලා සමග ඡායාරූප ගන්නට ගිය ඔහු අනතුරුව ප්‍රහාරයකට ලක්විය. කිඹුලා ඔහුගේ අතට පහර දී ඔහුව වතුරට ඇදගෙන ගියේය.
ඔහු කිඹුලා සමඟ සෙල්ෆි ගැනීමට එක් අතකින් තම දුරකථනය තබාගෙන සිටින විට, කිඹුලා ඔහුගේ වම් අත අල්ලාගෙන ඔහුව වතුරට ඇදගෙන ගියේ ඔහුගේ පවුලේ අය සහ අනෙකුත් අවට සිටි බියට පත් කරමිනි.
කෙසේ වෙතත් කිඹුලාගේ බඩ අතගා කිතිකැවීම නිසා වාසනාවකට මෙන් එයින් මිදී පලා යාමට ඔහුට හැකි විය. අනතුරින් ඔහුගේ වම් අත ලේ වැගිරී ඇති බවත්, වෙළුම් පටියක් දමා ඇති බවත් වාර්තාවිය. ඔහුව ඉක්මනින්ම රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහුගේ වම් අතේ සැත්කමක් සිදු කරන ලදී. චිපාඩා මහතා උතුරු මින්ඩනාඕ වෛද්‍ය මධ්‍යස්ථානයේ  සුවය ලබමින් සිටී.
 මෙම සිදුවීම නරඹන්නෙකු වීඩියෝගත කර දර්ශන අන්තර්ජාලය හරහා බෙදාහැරියේය. එය විශාල වශයෙන් හුවමාරු වීය.
විනෝද උද්‍යානය අවට අනතුරු ඇඟවීමේ පුවරු නොමැතිවීම විවේචනයට ලක්ව ඇති අතර අදාළ විනෝද සමාගම අනතුරට පත් පුද්ගලයාට වෛද්‍ය බිල්පත් සඳහා උපකාර කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙන බව පවසා ඇත. නමුත් කිසිදු වරදක් කර නැතැයිද චෝදනා ප්‍රතික්ෂේප කරන බවද සමාගම දන්වා ඇත.



අනතුර අවස්ථාවේ වීඩියෝව පහතින්