පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු  වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.  මෙම  පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගා කරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු සැපයුම මෙසේ අඩුවී ඇතැයි ද ඔහු කීවේය.

  මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙල සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන නමුත්  මේ දිනවල එම සෑම ප්‍රදේශයකින්ම ලැබෙන එළවළු ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වේගෙන යන බව ද උපසේන මහතා කීය.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ  ඇතැම් කඩවල් වැසීගොස් ඇතැයි උපසේන මහතා පැවසීය. තව ද එළවළු ලැබීම අඩු නිසා එළවළු  මිල ගණන් අහස උසට ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ඊයේ (21) පැවැති මිල ගණන්වලට අනුව බෝචි කිලෝවක් රුපියල් 550ක් 600ත් වූ අතර කැරට් කිලෝව රුපියල් 360ත් 400ත් අතර ද ලීක්ස් කිලෝව රුපියල් 330ත් 360ත් අතර ද තක්කාලි කිලෝව රුපියල් 500ත් 600ත් අතර රාබු කිලෝව රුපියල් 200ත් 250ත් අතර ද වූ බව උපසේන මහතා කීවේය.  අඹ සහ පොළොස් හැරෙන්න සියලුම එළවළු මිල අහස උසට නැග තිබෙන බව ද ඔහු පැවසීය.


 රංජන් කස්තුරි