sunshine-sudda-police

මාතර වැලිගම වරකාපිටිය විද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ සන්ෂයින් සුද්දාගේ ඝාතනය යට ගැසීම සඳහා හරක්කටා නමැති සංවිධානාත්මක අපරාධකරුවකුගෙන් දකුණු පළාතේ විශේෂ ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ පනහකට වැඩි සන්තෝෂමක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියවෙන්නේය.



මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියකුට ස්ථාන මාරුවක් ද ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ එම ඒකකය ඔහු යටතේ තිබූ නිසාය.

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුව සිට පොලිස් වෙඩි පහරින් මියගිය මාකඳුරේ මධුෂ් ගේ සමීපතමයකු වූ අමිල ප්‍රසංග හෙවත් සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය ක‍ර තිබුණේ පසුගිය සැප්තැම්බර් 03 වැනිදාය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පොලිසියට අමතරව දකුණු පළාතේ අපරාධ විමර්ශන ඒකක කිහිපයක් වෙතද පැවරිණි. මෙම ඒකකයේ සිටින පාතාලය හා සමීප සබඳතා පවත්වන බව කියන එක්තරා පොලිස් නිලධාරියකු සිටින අතර ඔහු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සමීප සබඳතා පවත්වන්නේ තමන් අතැති ජංගම දුරකතන අටකිනි. ඔහු කෙළින්ම හරක් කටා සමගද සම්බන්ධ වන බව කියන්නේ පොලිසියේම අයය. මෙහි අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරමගදී ජීප් රථවලට මාරු වූ අයුරු පොලිස් පොඩ්ඩෝ දනිති.



මොවුන් සුද්දා ඝාතනයට විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ආකාරයට හැසිර විමර්ශන වෙනතකට හැරවීමට වෙර දරා ඇති අතර මීට ඉහත කී විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාම පාහේ පාතාලයෙන් මඩිය තරකරගෙන ඇතැයි කියවේ.

එෆ්. අස්ලම්