sneak-into-the-mortuary-of-the-Matara-General-Hospital

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මෘතශරීරවලට හානි සිදුකිරීම නිසා මල් ශාලා සේවකයෝ හා මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.   විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන්  වී තිබෙන අතර එම ස්ථානයෙන් සතුන් එයට රිංගන බව  කියති. පසුගිය දිනයක ද ඒ ආකාරයට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ කාර්යාලීය කාමරයට පැමිණි නයෙක් මත ශරීරාගාරයේ සේවකයන් විසින් අල්ලා බෝතලයකට දමා ඉවතට ගෙන ගොස් දමනු ලැබීය.




එම විසකුරු සතුන් වෛද්‍යවරුන් ඇතුළු සේවකයන් පළඳින ආරක්ෂිත ඇඳුම් හා උස් සපත්තුවලට රිංගා සිටියහොත් තම ජීවිතද අවදානම් තත්වයකට පත්වන බව ඔවුහු සඳහන් කරති.  මෘත ශරීරාගාරයේ ගීතාගාර හයක් තිබෙන අතර ඉන් හොඳින් ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ දෙකක් පමණක් බවට ද දැන ගන්නට ඇත. මෘත ශරීර වැඩි වූ විට ඇතැම් මෘත දේහ ශීතාගාරවලින් පිටත තබන විට සිදුවන හානිය වැඩි බවද කියති.  රෝහල් මෘත ශරීරාගාරයෙන් මල් ශාලා වෙත රැගෙන ගොස් තිබූ මෘත ශරීර ගණනාවක කන්, නාසය ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබූ බව මල් ශාලා සේවකයෝ පවසති.


මේ පිළිබඳව අදහස් පළකළ මාතර මල් ශාලාවක නම ප්‍රකාශ කිරීමට අකැමැති සේවකයෙක් මෙසේ කීය.  “මීට සතියකට වගේ කලින් මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අපේ මල් ශාලාවට අරගෙන ආවා. රෑ 10.00 විතර තමයි ඔහු රෝහලේ දී මිය ගොස් තිබුණේ.

උදේ තමයි අපේ ගාවට ගෙනාවේ. පොලිතින් එක ඉවත් කර බලද්දී එහි නාසය හා කන් දෙකම සතුන් කාලා ලේ ගලලයි තිබුණේ.  මම එය ඔහුගේ පවුලේ ඥාතීන්ට පෙන්නුවා. මෑත ශරීරාගාරයටත් කෝල් කරලා කීවා. ඒ සතුන් කාපු තැන් කැට්ලෝපේස්ට් වලින් පුරවලා ප්ලාස්ටර් කරලයි මෘත ශරීරය  ඥාතීන්ට භාර දුන්නේ. මේ වගේ සිද්ධි කිහිපයක්ම වාරතා වී තිබෙනවා. ඒවා හදන්න ගියාම අපිත් දුෂ්කරතාවයට පත්වෙනවා."  මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහල නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවයි. රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත් ඔහු කීවේය.


- ක්‍රිෂාන් ජීවක ජයරුක්-