සෝයා ආහාරයට ගැනීමෙන් පියයුරුවල සහ තයිරොයිඩ් හා පුරස්ථි ග්‍රන්ථින්හි අර්බුද හටගන්නා බවටත්, එමගින් ප්‍රජනන ගැටලු ඇතිවන බවටත් සමහර පුවත්පත්වල පළ වූ වාර්තා හේතුකොට ගෙන, අප රටේ ජනයාගේ සිත්වල වියවුල් සහගත අදහස් ඇති වී තිබේ. මේ තත්වය උදාවී ඇත්තේ  තම නම හෝ ලිපිනය හෙළිකර නැති කාන්තාවක් විසින් කර ඇති ප්‍රකාශයක් හේතුකොටගෙනය.
තමා වසර දහයක් පමණ සෝයා ආහාරයට ගැනීමෙන් පසු ශරීරයේ හා පියයුරුවල අර්බුද හටගත් බවත්, තයිරොයිඩ් පිළිකාවක් හටගත් බවත් ඇය පවසා තිබේ. මෙම පුවත අන්තර් ජාලයට යවා ඇති එම කාන්තාව, යථොක්ත පිළිකාව හා අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රෝග විනිශ්චය කරන ලද්දේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් විසින්ද යන වග හෝ ජීව පටක පරික්ෂණයක් (biopsy) මගින් ඒවා සනාථ කර තිබේද යන වග හෝ සඳහන් කර නැත.

මේ පුවත පළවීමෙන් පසු සෝයා ආහාරයට ගන්නා මගේ හිත මිතුරන් කීප දෙනෙක් එම වාර්තා සත්‍යදැයි දුරකථනයෙන් මා විමසීය. මේ කාන්තාවගේ ප්‍රකාශයට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව මම ඔවුනට පැවසුවෙමි. සෝයා ආහාරයට නොගෙන පියයුරු, තයිරොයිඩ් හා ගර්භාශ පිළිකා හටගත් විශාල පිරිසක් අප රටේත් සිටිති.තයිරොයිඩ් පිළිකාවක් හටගත් තැනැත්තෙක් තමාට එම පිළිකාව හටගත්තේ වසර ගණනාවක් කිරි පැණි ආහාරයට ගැනීම නිසා යැයි පැවසිය හැකිය. එහෙත් කිසිවෙක් එය විශ්වාස නොකරනු ඇත. එබැවින් සෝයා ආහාරයට ගන්නන් එවන් ප්‍රවෘත්ති වාර්තා කියවා කලබලයට පත්විය යුතු නැත.



සමහරුන්ගේ විවිධ ඉන්ද්‍රියයන්හි විවිධාකාරයේ අර්බුද හටගන්නා අවස්ථා තිබේ. එමෙන්ම එක් අන්තෝසර්ග endocrine ඉන්ද්‍රියකට වැඩි වශයෙන් බලපාන අර්බුද හටගන්නා පුද්ගලයන්ද සිටිති. මා මේ පිළිබඳව දැන උගත් ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ සෝයා ආහාරයට ගැනීමත් පියයුරු හෝ තයිරොයිඩ් පිළිකා හටගැනීමත් අතර කිසි සම්බන්ධතාවක් නැති බවය.චීනයේ විසූ මුනිවරයන් ගෙන් හා බුද්ධිමත් පාලකයන්ගෙන් මිනිස් වර්ගයාට හිමිවූ අගනා දායාදයක් ලෙස සෝයා හැඳින්විය හැකිය. දශක ගණනාවක සිට ජපානයේ කර ඇති මහා පරිමාණයේ අධ්‍යයනයන් මගින් මෙම නිගමනයට එළඹ තිබේ.

සෝයා බෝචි හා වෙනත් සෝයා නිෂ්පාදනවල අඩංගු ප්‍රෝටීස් Protease නම් නිෂ්ටකයන්හි Inhibitars මෙම ප්‍රබල ප්‍රති පිළිකා ගුණාංගයන් අඩංගුව ඇත යනු විද්‍යාඥයන්ගේ මතයයි. පියයුරු පිළිකා හා පුරස්ථිත ග්‍රන්ථි පිළිකා ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවක් මරණයට පත්කරන පිළිකාවන්ගෙන් ප්‍රධාන ස්ථානය පියයුරු පිළිකාවලට හිමිවන අතර, පිරිමින් මරණයට පත් කරන පිළිකාවන් අතරින් දෙවන ස්ථානය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවටහිමිවේ. මේ පිළිකා දෙකටම ලිංගික හෝමෝන සම්බන්ධ බව පෙනී ගොස් ඇති අතර ආහාර වේලේ වෙනකම් මඟින් මේ පිළිකා දෙවර්ගයම වළක්වාගත හැකි හෝ අඩුකරගත හැකි බවට සාක්ෂි ලැබී තිබේ.

ශාක ඊස්ට්‍රජනක Phyto estrogens

ශාක විශාල සංඛ්‍යාවක ශාක ඊස්ට්‍රජනක හෝමෝන අඩංගුය. මෙම ශාක ඊස්ට්‍රජනක සංයෝග වර්ග කිහිපයක් වේ. බෝංචි අංකුරයන්හි, කරාබු නැටි සහ සූර්ය කාන්ත ඇටවල අඩංගු කවුමෙස්රන්ස් Coumestans හා තිරිගු, රයි වැනි ධාන්‍ය සහ තල ලින්සිඩ් වැනි ඇට මත මිනිස් බඩවැලේදී බැස්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ලිනන්ස් Lignans පලතුරු වර්ග විශාල සංඛ්‍යාවක සහ සෝයා, කැරට්, කෝන් ඇපල්, බාර්ලි සහ ඕට්ස් ආදියේ අඩංගු ඉසෝ ෆෙන්ස් iso-fla-vones මෙම ශාක අතුරෙන් ඊස්ට්‍රජනක බෙහෙවින් ඇ ත්තේ සෝයාවලය. ඊස්ට්‍රජනක ක්‍රියාකාරිත්වයෙන් යුත් ශාක තුන්සීයක් පමණ දැනට හඳුනාගෙන තිබේ.ජපානයේ සහ චීනයේ බෙහෙවින් ජනප්‍රිය ටෝෆු නමින් හැඳින්වෙන සෝයා නිෂ්පාදනයේ වෙනත් සෝයා නිෂ්පාදනයන්ට වඩා වැඩි ශාක ඊස්ට්‍රජනක ප්‍රමාණයක් අඩංගුය.

සෝයා අඩංගු ආහාර වැඩි වශයෙන් කෑමට ගන්නා චීනය, ජපානය හා කොරියාව වැනි රටවල පියයුරු පිළිකා වැලදෙන්නන්ගේ සංඛ්‍යාව බටහිර රටවලට වඩා අඩු බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. මේ රටවල පුරස්ථිත ග්‍රන්ථි පිළිකාද බෙහෙවින් අඩු අතර ආර්තවාභාවයේ අප්‍රසන්න ලක්‍ෂණද බෙහෙවින් විරලය.කාන්තාවක් දරුගැබ දරන අවධියේ සිරුරේ ස්වභාවිකව හටගන්නා ඊස්ට්‍රජනක ක්‍රියාකාරිත්වයට අවහිර කිරීමෙන් ශාක ඊස්ට්‍රජනක මගින් පියයුරු පිළිකා හටගැනීම වළක්වාලයි. ආර්තවාභාවයෙන් පසු කාන්තාවන්ගේ ඊස්ට්‍රජනක 70% කින් පමණ අඩු වූ විට, හෝමෝන ඌනතාව පිරිමැසීම සඳහා ශාක ඊස්ට්‍රජනක මගින් පිළිකා අවදානම අඩුකරමින් ඊස්ට්‍රජනකයන්ගේ වැඩි කිරීමක් සිදුකෙරේ. පිරිමින් සම්බන්ධයෙන් පුරස්ථිත අබුදකාරි තත්වයන් ඇතිවීම වර්ධනය කරන ටෙස්ටෙස්ටරෝන්වලට බාධකයක් ලෙස ශාක ඊස්ට්‍රජනක කටයුතු කරයි.

පියයුරු පිළිකා වැලඳීමෙන් ආරක්ෂාව සැලසීම

ශාක හෝමෝන සහ පියයුරු පිළිකා තත්ත්වයන්හි අඩුවීම අතර සම්බන්ධතාවය හෙළිවූයේ 1980 වසර මුල භාගයේදීය.
සෝයාවල අඩංගු ශාක ඊස්ට්‍රජනකය ඉසෝෆෙල්ස් iso-fla-vones යන නමින් හැඳින්වේ. මීයන්ට ආහාර වශයෙන් සොයා දීමෙන් ඔවුන්ගේ පියවුරුවල අර්බුදකාරි තත්වයන් අඩු වූ බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. ශාක ඊස්ට්‍රජනක ඉවත් කරන
ලද සෝයා, මීයන්ට ආහාර වශයෙන් දුන්විට එම අර්බුදකාරි තත්වයන් නතර නොවූ බව ඔවුන්ට පෙනී ගියේය. ශාක ඊස්ට්‍රජනක ප්‍රති පිළිකාකාරකයන් බව මෙයින් ඔප්පු වේ.

සාම්ප්‍රදායික ජපන් ආහාර ගන්නා ජපන් ජාතික කාන්තාවන්ට, එක්සත් ජනපදයේ කාන්තාවක්ට මෙන් නොව, පිළිකා වැලඳීමේ ප්‍රවණතාව බෙහෙවින් අඩුය. ශාක ඊස්ට්‍රජනක අඩංගු සෝයා ආහාර බහුල වශයෙන් කෑමට ගන්නා ජපන් ජාතික කාන්තාවගේ රුධිර පද්ධතියේ ඇමෙරිකානු කාන්තාවන්ට වඩා ශාක ඊස්ට්‍රජනක (ඉසොෆෙස්ටින්) 15 සිට 20 දක්වා වන ප්‍රමාණයක් සංසරණය වේ. සෝයා මඟින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරන ආකාරය පිළිබඳ තවත් මතයක් නම්, ඔසප් චක්‍රය දීර්ඝ කිරීමෙන් ඊස්ට්‍රජනකයන්ට නිරාවරණය වීම වැළැක්වීමේ හැකියාවක් සෝයා සතුවීමය.
ආසියාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නන්ට; සෝයා පරිභෝජනය කරන ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා පිළිකා වැලඳීමේ අවදානම බෙහෙවින් වැඩිය. පියයුරු පිළිකා තත්වයන් නොමැති පූර්ව ආර්තවභාවයේ පසුවන චීන කාන්තාවන්, පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ට වඩා, සෝයා නිෂ්පාදනයන් වැඩියෙන් ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව සිංගප්පූරුවේ ජාතික සරසවිය මගින් කර ඇති අධ්‍යයනයකදී හෙළිවී තිබේ. මෙයින් ඔප්පු වන්නේ සෝයා ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හටගැනීම වළක්වාලිය හැකි බවය.

සෝයා, පුරස්ථිත ග්‍රන්ථියේ පිළිකා වළක්වයි

සෝයාවල අඩංගු ඊස්ට්‍රජනක සමාන සංයෝගයන් පිරිමින්ට පුරස්ථිත ග්‍රන්ථියේ පිළිකා වැළඳීමෙන් වළක්වාලීමට හෝ ඒ හේතුකොටගෙන නොනැසී ජීවත්වීමට උපකාර වේ. ඊස්ට්‍රජන් යනු ස්ත්‍රී හෝමෝනයක් වන අතර, පුරස්ථිත පිළිකා පිරිමින්ට වැලඳෙන රෝගයක් හෙයින් මෙය අරුමයක් ලෙස යමෙකුට පෙනී යනු ඇත. ටෙස්ටෝස්ටෙරෝන් නම් පුරුෂ හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවමින් පුරස්ථිත ග්‍රන්ථයන්හි අර්බුද හටගැනීම ඊස්ට්‍රජන්වලට ප්‍රමාද කළ හැකිය. ටෙස්ටොස්ටෙරෝන් වල ඊස්ට්‍රජනක මෙන් හොඳ මෙන්ම නරකද තිබිය හැකිය. මල්ගොබ, රැවුල වැඩීම උද්ගමනය ආදි පුරුෂයන්ට පමණක් විශේෂිත කාර්ය සමුදායක් සඳහා ඒවා අවශ්‍ය වේ. එහෙත් පිරිමියකුට පියයුරු පිළිකා තත්වයක් ඇතිවුවහොත් එහි වර්ධනය ඉක්මන් කිරීමේ ශක්තිය ටෙස්ටොස්ටෙරෝන් සතුව පවතී. ඊස්ට්‍රජනක, ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය පමාකර, එමගින් පිළිකා වර්ධනයට බාධා පමුණුවයි.

ඊස්ට්‍රජන්වල අතුරු ප්‍රතිඵල ලෙස ලිංගික අප්‍රාණිකත්වය, කාමරාගහීනතාවය, ස්තන ග්‍රන්ථිය විශාල වීම ආදිය දැක්විය හැකිය. සෝයාවල අඩංගු ශාක ඊස්ට්‍රජනකයගේ පිහිට ලැබෙන්නේ මෙවන් අවස්ථාවලදීය. අහිතකර අතුරු ප්‍රතිඵල රහිතව, ශාක ඊස්ට්‍රජනක, ටෙස්ටොස්ටෙරෝන්වල බලපෑම අඩුකිරිම හෝ පිළිකා සෛලවලට එම හෝමෝනය පෝෂණය කිරීම දුෂ්කර කර අර්බුදකාරී තත්වයක් හටගැනීම වළක්වාලීම හෝ එමඟින් සිදුකරන බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. එක්සත් ජනපදයේ මිනිසුන් 11 දෙනෙකුගෙන් එක් අයෙකුට පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැලඳෙන අතර, ඒ හේතුකොටගෙන වසරකට මරණ 38,000ක් පමණ සිදුවේ. එහෙත් ශාක ඊස්ට්‍රජනක විශාල වශයෙන් අඩංගු සෝයා වැනි ආහාර ගන්නා ආසියාතිකරයේ පුරස්ථිත ග්‍රන්ථ පිළිකාවලින් මියයන සංඛ්‍යාව බෙහෙවින් අඩුය. සෝයාවල අඩංගු ජෙනිස්ටෙයන් යන නාමයෙන් ද යන නාමයෙන් හඳුන්වන ශාක ඊස්ට්‍රජනක පුරස්ථිත ග්‍රන්ථි පිළිකා සෛල වැඩීම වළකාලයි.

සෝයා සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගාබාධ

ගොයිටොජන් යන නමින් හඳුන්වන සංයෝගයන් අඩංගු ආහාර බොහොමයක් තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එම තත්වය උත්සන්න වූ විට ගලගණ්ඩය පවා සෑදේ. ආහාරවල අයඩීන් ඌනතාව නිසා හටගන්නා ගලගණ්ඩය ඈත අතීතයේ අප රටේ සමහර පළාත්වල බහුලව දක්නට ලැබුණි. එහෙත් අයඩීන් ලුණු භාවිතය නිසා දැන් එම තත්ත්වය මඟහැරී
ගොස් ඇත.

සෝයා හැරුණුවිට, රතුමල් සහිත ගෝවා, මෙනේරී ආදියේ ගොයිටොජන් අඩංගුය. 1960 වසරේ සිට ගොයිටොජන් අඩංගු සෝයා මූල ළදරු කිරි ආහාර නිෂ්පාදනය නොකරන අතර, දැන් සෝයා මූල ළදරු ආහාර නිපදවනු ලබන්නේ සෝයා ප්‍රෝටීන් වෙන් වශයෙන් අඩංගු කිරිමෙනි. දැනට නිෂ්පාදනය කරන සෝයා ආහාර අයඩීන්වලින් ශක්තිමත් කර ඇති අතර අපේ වෙළෙඳ සල්වල අලෙවි කරනු ලබන සාමාන්‍ය ලුණුවල අයඩීන් අඩංගුය. පසුගිය වසර 40 තුළ එක්සත් ජනපදයේ අයඩීන් ඌනතාව නිසා හටගන්නා ගලගණ්ඩ රෝග ලක්ෂණවලින් යුත් ළදරුවන් හමු වී නැත. ආහාරයේ ප්‍රමාණවත් අයඩීන් ප්‍රමාණයක් අඩංගු නිරෝගී පුද්ගලයන් සොයා ආහාරයට ගැනීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇතිවන බවට හෝ සෝයා ආහාර මගින් තයිරොයිඩ් පිළිකා හටගන්නා බව ඔප්පු කිරීමට හෝ විද්‍යාත්මක සාක්ෂි ලැබී නැත.



සෝයා ආහාර හා ඥාන ශක්තිය සෝයා ආහාර ගන්නා ආසියානු රටවල ජනයාට, බටහිර රටවල ජනයාට වඩා මානසික ආබාධ ප්‍රමාණය අඩුය. ජපන්  ජාතිකයන් වියපත් වියේදී වඩා යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන්නේ ඔවුන්ගේ යහපත් ජීවන රටාව නිසාය. සති දහයක් වැඩි සෝයා ප්‍රමාණයක් අඩංගු ආහාර ගත් වැඩිහිටි පිරිමින් හා ගැහැනුන් තුළ කෙටිකාලීන හා දීර්ඝ කාලීන මතක ශක්තියේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබී තිබේ. මුළු ජීවිත කාලය පුරා, සෝයා ආහාර පරිභෝජනය කරන වැඩිදෙනෙකුගෙන් සමන්විත සෙවත් ඩේ ඇවෙන්ටිස්ට් නම් නිකායට අයත් අය අතර, මානසික රෝගාබාධ අන් අයට වඩා බෙහෙවින් අඩු බව පෙනී ගොස් තිබේ.

සෝයා ආහාරයට ගැනීම ආරක්ෂාකාරීද?

හදවත් රෝගවලට එරෙහිව සටන් කිරීමට සෝයා උපකාර වේය යනු ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ මතයයි. තවද ඔබේ අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවද සෝයා සතුව පවතී. පසුගිය දශකය තුළ සෝයා සම්බන්ධයෙන් ලැබී ඇති වැදගත් ආරංචිය නම්, පිළිකාවලට එරෙහිව සටන් කිරීමට සමත් සංයෝගයන් සෝයා සතුව පවතින බවය. සෝයාවල පිටේස් Phytates අධික ලෙස අඩංගු වුවද, ශාක පමණක් ආහාරයට ගන්නන් තුළ යකඩ ඌනතාවයක් වර්ධනය වන බවක් පෙනෙන්නට නැත.
සෝයා සම්බන්ධයෙන් කර ඇති සෑම අධ්‍යයනයකින්ම සුබවාදී ප්‍රතිඵල අත්වී තිබේ.

එහෙත් සෑම නීතියකටම ප්‍රති විරුද්ධ පැත්තක්ද තිබේ. සතුන් උපයෝගී කරගෙන කරනු ලබන අධ්‍යයනයන්ගෙන් මිනිස් සෞඛ්‍යය පිළිබඳව නිගමනයන්ට එළඹීම ව්‍යාකුල හා නොමඟ යවනසුලු විය හැකිය.ගෝවා සහ බ්‍රොකොලි මඟින් සමහර සතුන්ට පිළිකා වැලඳිය හැකි නමුත්, මිනිසුන් සම්බන්ධයෙන් ඒවා ප්‍රති පිළිකාකාරකයය තවද, ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය, වෙළෙඳසල්වල ගෝවා සහ බ්‍රොකොලි අලෙවිය තහනම් කර නැත. එබැවින් ඔබ ගන්නා සමබල ආහාරයට මධ්‍යස්ථ වශයෙන් සෝයා එක්කර ගැනීමෙන් කිසිදු හානියක් සිදු නොවනු ඇත.

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස