president-speaks

අද (26) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා 
 ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි පැවසීය.ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඒවා අවශ්‍ය බවද කීය.
එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට හිමිවනු ඇති බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන ලැබෙන නිසා රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.


2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.
ජනාධිපතිතුමා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ.
කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු, වෙළෙඳ සහ අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප : සාගර ලක්මාල් ද මැල්, උපුල් නිලංග, ශාමික වක්වැල්ල, ඩී. සමරකෝන් - ජනාධිපති මාධ්‍ය අංශය)