pathum-malaviarachchi

පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇති කරමින්  කෝටිපති සැලොන් ව්‍යාපාරිකයෙකු කැතිපහරකින් මරණයට පත්වීමේ සිදුවීමක් වාර්තා විය. අනුරාධපුරයේ නිවසක 21 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් රැකියාවට කැඳවා යාමට උරණවූ ඇගේ සොයුරා මොහුට කැති පහර එල්ලකළ පුද්ගලයා බවද කියැවිණි.

පෙම්වතියට බෙන්ස් එක්ක තෑගි දී ඒ ගැන  වීඩියෝවක් පළ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රකටවී සිටි මෙම පුද්ගලයාගේ මරණය බොහෝ දෙනෙකුට කම්පනය ඇතිකරන සිදුවීමක් වුවත් ඒ යට සැඟවුණ කතා කිහිපයක්ම ඇති බව පසුව අනාවරණය විය.
 කොළඹ උසස් ගණයේ මිල අධික සැලෝන් කීපයක අයිතිකරුවෙකු වූ මේ කෝටිපති ව්‍යාපාරිකයා පැතුම් මලවිආරච්චිය. පැතුම් කරණවෑමියෙකුව සිට කෝටිපතියෙකු දක්වා ආ ගමන විවිධ දුෂ්කරතා මැද සිදුවූවකි. මෙවන් අකල් මරණයක් සිදුවූ පසු ඔහු ගැන නරක ආරංචි සාකච්ඡා කිරීම එතරම් හොඳ දෙයක් නොවුණත් කෙනෙකුගේ ගමන්මග යහපත්වීම හොඳ අවසානයක් වන අයුරුත් අයහපත්වීම නරක අවසානයක් වන අයුරුත් කියැවෙන බුදු බණ නැවත සිහිපත් කරවන්නක් වන නිසා ඒ ගැන ලැබී ඇති තොරතුරු අපි ඉදිරිපත් කරමු.


 අනුරාධපුර ඇලයාපත්තුවට නුදුරු ගල්කඩවල ජීවත් වූ පැතුම්ගේ උපන්ගම අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ බව කියවෙතත් ඒ බව කියන්නට නිශ්චිතවම කිසිවෙක් දන්නේ නැත. ඔහු දෙමාපියන් නෑදෑයන් කිසිවෙක් නොමැති කෙනෙකි.
පැතුම් ළමා අවධියේ සිට හැදී වැඩුණේ ගල්කඩවල නිවසකය. එම නිවසේ සිටියේ මවත්, පුතාත්, දුවත් පමණි. ගොවිතැනින් ජීවත් වූ ඔවුන්ට අගහිඟකම් තිබුණු මුත් ඔවුන් සතුටින් ජීවත් වූ බව පැවසේ. ඔවුන් පැතුම්ට සැලකුවේත් තම පවුලේ අයෙකු ලෙසිනි. එම නිවසේ හැදී වැඩුණු පැතුම් කරඹෑව, ගම්බිරිගස්වැව, කෝලිබැන්දෑව හා අලුත්ගම ආදී අවට ගම්මානවල නොයෙක් කුලී වැඩවල නිරත වෙමින් යමක්කමක් උපයාගෙන දිවි ගෙව්වේය. ගමේ හන්දියේ සැලොන් එකකද වැඩ කළේය.

ඒවා එතරම් විශාල ආදායමක් ලැබිය හැකි ඒවා නොවීම පැතුම්ට කණස්සල්ල ඇති කර තිබේ.
ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවූ හෙයින් කලකට පසු ඔහු ගමෙන් පිට විය. සුළු රැකියාවක් අලුතින් පටන් ගත්තේය. මුලින් කළුතරට ගිය ඔහු අලුත්ගම ප්‍රදේශයේ සැලූනයක් ආරම්භ කළේය.
එය මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයකි. තරමක සල්ලාල ගති පැවතුම්වලින් යුක්ත වූ පැතුම් මුස්ලිම් තරුණියක සමග හාදකමක් ඇතිකරගැනීම හේතුවෙන් ඇතිවූ කළහකාරී තත්වයක් ගැන මුලින් වාර්තා විය.
එම පවුලේ අය සමග ඔහු පැටලිණි. ආගම් වාදය මුලට ආවේය. ඔහුට තරුණිය දීමට පවුලේ අය නොකැමති විය. වඩාත් හරහට හිටියේ ඔහුගේ මුරණ්ඩුකම්ය.

ඒ නිසා අලුත්ගම ප්‍රදේශයේ සිටීමට නොහැකිව සැලූන් රස්සාව අතහැර දැමූ ඔහු යළි ගමට ගියේය. ගමේ ඔහු සෙල්ලක්කාරයෙකු වූ නිසා වැඩිදෙනෙක් මිතුරන් වූයේ නැත. මිතුරන් සිටියේ නම් ඒ මැරකම් කරන අය පමණි.
කොල්ලන් සමග එක්වී මුදල් ඉපැයීමට විවිධ ක්‍රම අත්හදා බැලීමට ඔහු පසුව යොමු විය.
 ඔහු මුදල් ඉපයීමට නීතියට පටහැණි ක්‍රමයක් පාදා ගත්තේය. එනම් ගල්පොත්තේගම ප්‍රදේශයේ මිතුරකු සමග එක්වී කාන්තාවන්ගේ මාල කඩා ගැනීමයි. ඒ සම්බන්ධව ඔහුට විරුද්ධව නඩු 16 ක් තිබෙන බව දැනට ලැබී ඇති තොරතුරු මගින් හෙළිවේ.
මාල කැඩීම නිසා පැතුම්ට කීප වතාවක් බන්ධනාගාරගතව සිටින්නටද සිදුවිය.
අවසන්වරට බන්ධනාගාරයෙන් එළියට පැමිණි පැතුම්ට ගමේ තවදුරටත් ජීවත්වීමට නොහැකිවූයේ පිළිගැනීමක් නැතිවූ නිසාවෙනි.
රජරට ජීවිතයට සමුදී කොළඹට පැමිණියේ කුමන ක්‍රමයකින් හෝ මුදල් ඉපයීමට සිතාගෙනය. එහිදී නැවත වතාවක් සැලූන් ජීවිතයට එක්වීමට ඔහුට හැකිවූයේ කොළඹදී හඳුනාගත් තරුණියක නිසාය.


පැතුම්ගේ පෙම්වතිය වූ ඇය ඔහුට සැලොන් රස්සාව දියුණු කරගැනීමට ඇය උදව් කළාය. බියුටි සැලොන් කිහිපයක හිමිකාරියකවූ ඇය ඇයගේ සැලොන් වල පිරිමින්ට කොණ්ඩා කපන්නට මුලින් පැතුම්ට ආරාධනා කළාය. පසුව ඔහු පිරිමින්ගේ කොණ්ඩා කැපීමේ මෙන්ම කාන්තාවන්ට සත්කාර කරන රූපලාවන්‍යවේදී කටයුතුද එහි සිදු කළේය.
සැලොන් රස්සාව හරියාගෙන ආ නිසා ඔහු තමන්ටම අයිති සැලොන් කිහිපයක් ගොඩනගාගන්නටද උනන්දු විය. ඔහුටම අයත් සැලොන් කිහිපයක් විවෘත කළ පසුව ඔහුට උඩට එන්නට උදව් කළ පෙම්වතිය වූ ඇයට බෙන්ස් එකක්ද තෑගි දුන්නේය.
කෙසේ වෙතත් සෙල්ලක්කාර පැතුම් මේවායේදී කළේ රජරට දී කරන ලද සැලූන් රැකියාව පමණක් නොවේ. කොණ්ඩා කැපීම, රැවුල කැපීම, රූපලාවන්‍ය කටයුතු මුවාවෙන් තව තවත් විවිධ දේ සැලූන් තුළ සිදුවිය. ඒ සඳහා ඉතා ඉහළ මිල ගණන් අය කෙරිණ. ඒ සේවාවන් ගැනීම සඳහා පැමිණියේ සමාජයේ ඉහළ සමාජ ස්ථරයේ ප්‍රභූවරුන්ය. ඒ සේවාවන් දුන්නේ රූමත් යුවතියන්ය. කෙටි කලකින් පැතුම් මහා ධනවතෙක් විය. ඒ අතර ඔහුට ගම මතක් විය.

 ගල්කඩවල ගෙවූ ජීවිතය මතක් විය. ගමෙන් කෙල්ලක් කොළඹට රැගෙන ආවොතින් තම ව්‍යාපාරවලට ගැනුම්කරුවෝ තව තවත් ආකර්ෂණය වෙතැයි සිතූ පැතුම් ඒ සඳහා තෝරාගත්තේ තමන් හැදී වැඩුණු, තමන් ජීවත් කළ ගල්කඩවල නිවසේ විසූ තරුණියයි. ඇය වයස අවුරුදු 21 ක් වූ නව යොවුන් වියේ සිටි රූමත් තරුණියක වූ නිසා කෙසේ හෝ ඇය රැගෙන ඒම ඔහුගේ අභිප්‍රාය විය. පැතුම්ගේ කීමට ඇය කොළඹ ආවේ රූපලාවන්‍ය රස්සාවකටය. නමුත් සැලොන් එකට ආ පසුව ඇය එහි සිද්ධවන දේ දැනගන්නට වැඩි දවසක් ගතවූයේ නැත.ගණිකාවක් වන්නට උවමනා නොවූ ඇය නැවත කොළඹ අතැර ගමේ යන්නට සිතා ගත්තාය.

 ආපසු නිවසට ඒමට ඇය කීප වතාවක් පැතුම්ගෙන් ඉල්ලා සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහු තර්ජනාත්මකව ඇයට බැණ වැදුනේය.

කෙසේ හෝ එක් දිනෙක පැතුම් නොමැති අවස්ථාවක ඇය කොළඹ කොටුවට පැමිණ අනුරාධපුරය බලා එන බසයක නැගී නිවසට ආවාය.
ගමේ ගිය ඇය සිය සොයුරාටද මෙහි සිද්ධවන දේවල් ගැන දන්වා සිටියාය.
තරුණියගේ පලායාමෙන් දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපුණු පැතුම් වහාම ගල්කඩවලට ගොස් හොඳින් හෝ නරකින් තරුණිය ආපසු රැගෙන එන බවට වහසි බස් දෙඩුවේය. ඔහු තම මිතුරන් දෙදෙනකු ද සමග ගල්කඩවලට  පිටත් විය. ගල්කඩවලට එන අතරතුර පැතුම් හා තරුණියගේ සහෝදරයා අතර දුරකතනයෙන් බහින්බස්වීම් ඇතිවිය. එහිදී පැතුම් පවසා ඇත්තේ හොඳින් හෝ නරකින් තරුණිය ආපසු කොළඹ රැගෙන යන බවය.
තිස් අට හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පැතුම් මලවිආරච්චිගේ ඉරණම ගල්කඩවලදී තීන්දු වූයේ පසුගිය නොවැම්බර් 10 වැනි දින දීය. එදින සවස 6.30 පමණ වනවිට පැතුම්ගේ බෙන්ස් මෝටර් රථය ගල්කඩවල නිවස ඉදිරිපිට නතර විය. මාරාවේශයෙන් ඉන් බැසගත් පැතුම් සිය මිතුරන් දෙදෙනා ද සමග නිවසට ඇතුළු විය. මවත් දියණියත් තුෂ්නිම්භූතව බලා සිටියේ කිසිවක් කරකියාගත නොහැකිවය. තරුණියගේ කෙස්වැටියෙන් අල්ලාගත් පැතුම් ඇය බලහත්කාරයෙන් මෝටර් රථයට ගෙනයාමට උත්සාහ කළේය. මේ මොහොතේ ඇගේ සොයුරා නිවසේ නොසිටියේය. තරුණියගේ කෑ ගැසීම ඇසී ඔහු වහාම එහි දිව ආවේය.
“අතෑරපන් පැතුම්. නංගි කැමති නෑනේ. අතෑරපන්.”

තරුණියගේ සොයුරා පැතුම්ගෙන් කීප වතාවක් ඉල්ලීම් කළේය. මවද කඳුළු සලමින් බැගෑපත් වුවද ඊට පැතුම්ගෙන් බුරුලක් නොලැබුණි. පැතුම් හා තම සොයුරා බහින්බස් වන අතරේ පැතුම්ගෙන් මිදුණු තරුණිය දිවගොස් නිවසට ඇතුළු වී අගුළු දමා ගත්තාය. ඉන් කෝපාවිෂ්ට වූ පැතුම් දොරට පයින් ගසමින් එය කඩන්නට උත්සාහ ගත්තේය. තරුණියගේ සොයුරාටද, මවටද පහර දෙන්නට පටන්ගත්තේය. |

කරකියාගත දෙයක් නොවූ තැන තරුණයා බිත්තියට හේත්තුකර තිබූ කැත්ත අතට ගත්තේය. කෝටිපතියාගේ ඉරණම තිබුණේ කැත්තේය. තරුණියගේ සොයුරා පැතුම්ට කැත්තෙන් වැරෙන් පහරක් එල්ල කළේය. ඒ පහරින් ලේ පෙරාගත් පැතුම් මරහඬනගමින් බිම ඇද වැටිණි.
බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලටත් මාරු කළද මියගියේය.
ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ සොයුරා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

කෝටිපති දක්වා ගමන් කළද පැතුම්ගේ මරණය අසාධාරණ යයි තතු දන්නෝ නොකියති. ඒ ගැන කම්පා නොවෙති. එය ක්‍රියාවෙන් අයහපත්වීම නරක අවසානයක් වන අයුරු බුදු බණ නැවත සිහිපත් කරවන්නකි.

 පෙර ලිපිය
පෙම්වතියට උපන්දිනයට බෙන්ස් දුන්නැයි කී කෝටිපති ව්‍යාපාරිකයා කැතිපහරින් මරුට