nenz-lover-pathum-killed

කොළඹ සිට අනුරාධපුර ගල් කඩවලට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයෙකු පෙරේදා (10) රාත්‍රියේදී ඔහුගේ පෙම්වතිය බව කියන 24 හැවිරිදි අවිවාහක තරුණියක බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී,  තරුණියගේ 35 හැවිරිදි සහෝදරයා සිදුකළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, සිය පෙම්වතියට උපන්දිනය පැවැති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත්වූ නාවින්න හා කොළඹ පිහිටි ප්‍රසිද්ධ සැලුන් ආයතන දෙකක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි මල්ලවආරච්චිගේ පැතුම් නැමැත්තෙකි. 



කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ Salon hisa care  නමින් සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය  හිමිකරු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා පෙරේදා (10දා)සවස ඇලයාපත්තුව ගල්පොත්තේගම වෙහෙරගල විහාරස්ථානය හා ගල්පොත්තේගම වැවේ වාන ආසන්නයේදී තියුණු අවි ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා ඇලයාපත්තුව රජයේ රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා කුඩා කල වසර කීපයක් ඇලයාපත්තුව ගල්කඩවල ගලේපොස්ගම ප්‍රදේශයේ පිහිටි ඝාතනය සිදුකළ සැකකරුගේ නිවසේ හැදී වැඩී ඇති බවත් ඔහු දෙමාපියන්ගේ හව්හරණක් නොමැතිව ජීවත්වී පසුව ස්වඋත්සාහයන් කෝටිපතියෙකු වී ඇති බවද පරික්ෂණවලදී අනාවරණය වීය.
මියගිය අය මීට සති කිහිපයකට ඉහතදී අදාළ සැකකරුගේ නැගණිය රැකියාවක් සඳහා කොළඹට රැගෙන ගොස් ඇති අතර ඇය කරදර අධික බව පවසමින් නැවත නිවසට පැමිණ තිබෙන බවත්, එසේ පැමිණි තරුණියව බලහත්කාරයෙන් නැවත කැදවාගෙන යාම සඳහා ව්‍යාපාරිකයා උත්සාහ කළ අවස්ථාවේදී ඊට ප්‍රකෝප වූ සහෝදරයා පහරදීම සිදුකර ඇති බවත් පරික්ෂණවලදී හෙළිවී තිබේ.

ප්‍රහාරයට ලක්වූ තරුණයා නිවස ඉදිරිපිට පිහිටි වැට මතට ඇද වැටි ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් ඔහු රැගෙන පලාගොස් තිබූ බව පොලීසිය පවසයි. ස්ථානීය පරීක්ෂණයට පැමිණි විනිසුරුවරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස ඇලයාපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ. සැකකරු හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර මරණ පරික්ෂණ සාක්ෂි සඳහා සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස ඇලයාපත්තුව පොලීසියට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කලේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.