මහාරච්චිමුල්ල, පන්ගොල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කාමරයක පොහොර උරයක දමා තිබූ වෙඩි බෙහෙත් තොගයක් ඊයේ (15)දා පුපුරා යාමෙන් නිවසටද අලාභ සිදුවී කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බෝයවලාන පොලීසිය පවසයි. නිවස තුළ ඇති වූ පිපිරීමෙන් තුවාල ලැබූ ගෙහිමියාගේ බිරිඳ වන රසිකා ජීවනී (අවු.37) යාබද නිවසක පදිංචිව සිටි කේ.එම්. සෝමවතී (අවු.72) යන දෙදෙනා තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබති.



නිවෙස් හිමියා මීට වසර දෙකකට පෙර අලව්ව ප්‍රදේශයේ ගල්වළක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඉතිරී වී තිබුණ වෙඩි බෙහෙත්, ඇමෝනියා, ඩයිනකරල්, ඩෙටනේටර් හා සේවා නූල් පොහොර උරයකට දමා බැඳ තිබූ බවත්,
මුළුතැන්ගෙට උඩින් ඇති ඉහළ මාලයේ  කාමරයක පොහොර උරයක දමා තිබූ වෙඩි බෙහෙත් තොගය බිම තබා තිබියදී පුපුරා යැවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. නිවසේ ඉහළ මාලයේ ඇති වූ පිපිරීමෙන් වෙඩි බෙහෙත් තොගය තබා තිබූ කාමරයටත්,

එම කාමරයට යටින් ඇති පහළ මාලයේ මුළුතැන්ගෙට දැඩි අලාභහානි සිදුවී ඇති බවත් මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කරමින් සිටි ගෙහිමියාගේ බිරිඳ හා යාබද නිවසේ කාත්තාවද තුවාල ලබා තිබේ. පරික්ෂණ අවසන් වනතුරු විශේෂ කාර්ය බළකා නිලධාරින් ආරක්ෂාව සඳහා යොදවා තැබීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරී එස්.එන්. ද සොයිසා මහත්වරුන්ගේ උපදෙස් මත බෝයවලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චතුරංග ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(කුරුණෑගල - අතුල පී. බණ්ඩාරනායක)