කොවිඩ් පැතිරීම හේතුවෙන් පාසල් වසාදැමීම නිසා 2020 සහ 2021 යන වසර දෙකේදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු විශාල ලෙස මගහැරී ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.  බස්නාහිර පළාතේ පාසැල් සිසුන්ට 2020 වසරේදී ඉගෙනුම් කටයුතු සියයට 55 කින් මග හැරී ඇති අතර  අනෙකුත් පළාත්වල සියයට 45 කින් ඉගෙනුම් කටයුතු මගහැරී ඇතැයිද ඔහු සඳහන් කළේය.

  මෙම ප්‍රමාණය මේ වසරේදී ඊට වඩා වැඩිවී ඇති අතර බස්නාහිර පළාත්තේ සිසුන්ට මෙම වසරේදී ඉගෙනුම් කටයුතු සියයට 90කින් මගහැරී ඇතැයි ආචාර්ය නවරත්න පවසයි.


අනෙකුත් පළාත්වල සිසුන්ට මෙම වසෙර්දී ඉගෙනුම් කටයුතු සියයට 70ක්ද මගහැරී ඇති බවට ජාතික අධ්‍යාපන ආයතනය  ගණන් බලා තිබෙන බවද ආචාර්ය නවරත්න මහතා සඳහන් කළේය.  දරුවන්ගේ ඉගෙනුම් කටයුතු යළි ක්‍රමවත් කිරීමටත් ගෙවීගිය වසර දෙකේදී මගහැරුණු ඉගෙනුම් කටයුතු නැවත ලබාදීමටත් ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රමවේදයක් සකස්කර තිබෙන බවද ඔහු සඳහන් කළේය. 

ඒ අනුව නොවැම්බර් මාසයේ සිට ලබන මාර්තු මාසය දක්වා සති 20ක කාලයේදී එම මගහැරුණු ඉගෙනුම් කොටස්වලින් අත්‍යවශ්‍යම කොටස් තෝරාගෙන දරුවන්ට ඉගැන්වීමට යෝජනා කළ අතර එය මේ වනවිට ක්‍රියාත්මක බවද ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.  ඒ ඒ විෂය සම්බන්ධ ප්‍රවීණයන් විසින් එම විෂයන්ට අදාළ අත්‍යවශ්‍යම කොටස් මොනවාදැයි තෝරා තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ උපදෙස් පාසලට දී තිබෙන බවද හෙතෙම කීවේය.

 -රංජන් කස්තුරි-