indian-poteto

ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කෙටි කෑම නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට තමාට හැකිවූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ‘අරුණ’ට පැවසීය.

පෙරේදා (28 වැනිදා) පස්වරුවේ තමන් සහ දඹුල්ල පහළවැව නාගරික මන්ත්‍රී චරිත විජේරත්න විසින් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි පෞද්ගලික ගබඩාවක් පරික්ෂාකිරීමේදී මේ බව හෙළිදරව් වූ බවද හෙතෙම කීවේය.



එම අවස්ථාවේදී අදාළ ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25 දෙනකු පමණ ඉන්දියාවෙන් ගෙනා අර්තාපල් අල ගෝනිවලින් ඉවත්කර ඒවා පවිත්‍ර කරමින් සිට ඇත. එම විශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ ග්‍රෑම් හතළිස් පන්දහසක් පමණ ගොඩගසා තිබී ඇති අතර, ඒවා සියල්ලම පාහේ බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවැති බව නගරාධිපතිවරයා කීවේය.

මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන තිබේ.

නගරාධිපතිවරයා ඔහු​ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් වරායෙන් නිදහස් කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවත් පවසා ඇත. තවද, මේවා හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් හෙතෙම ඒවා ගෙන්වූ තමන් ඇතුළු කණ්ඩායම කිසිවිටක එම අර්තාපල් ආහාරයට නොගත් බවද පවසා ඇත.



නාගරාධිපතිවරයා විසින් ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේදී විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකටම මෙරටට ගෙන්වූ දිනය, වරායෙන් පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයෙන් ලබා දුන් ලියකියවිල්ලක් අවශ්‍ය බවයි.

මෙම මහා පරිමාණ කුණු අල ජාවාරම සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම භාරගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මගින් වරායට ලැබීමෙන් අනතුරුව වරායෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බවත් නගරාධිපතිවරයා පැවසීය.

මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන් සීල් තබා ඊයේ (29 වැනිදා) සෙසු රාජකාරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලිසිය කීවේය.

කේ. කේ. ආරියදාස -දඹුල්ල