gemunu-wijeratne

බස් රථ සේවකයන් නොමැති වීම,අබලන්ව තිබෙන බස් රථ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය සහන ලබා දීමට කටයුතු නොකිරීම හා මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකිරීම මත පොදු ප්‍රවාහන සේවය තුළ ඇති වී තිබෙන අර්බුදය ලබන 22 වැනිදා සිට උග්‍ර අර්බුදයක් බවට පත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ලබන 22වැනිදා සිට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ වන බවත්, පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් සමස්ත බස් රථ ප්‍රමාණයෙන් තවමත් ධාවනය කිරීමට හැකිව ඇත්තේ සියයට පනහකට (50%) ආසන්න ප්‍රමාණයක් බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.



කෝවිඩ් තත්වය තුළ බස් කර්මාන්තය විධිමත් ලෙස පවත්වාගෙන යැමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් බස් රථ සේවකයන්ගෙන් සැලකිය යුතු  පිරිසක් තවමත් සේවයට වාර්තා නොකරන බවත්, එබැවින් ධාවනය කිරීමට හැකි තත්ත්වයේ පවතින සියලු බස් රථ ප්‍රමාණයම ධාවනය කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේ.පවතින තත්ත්වය හේතුවෙන් බස් හිමියන්ට පවා බස්රථ ධාවනය කිරීමට සිදුව තිබෙන බවත්, කෝවිඩ් තත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් බස් රථ එකම ස්ථානයේ නවතා තිබීම මත අබලන් තත්වයට පත් වූ බස්රථවලීන් විශාල ප්‍රමාණයක් තවමත් අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.



කෝවිඩ් තත්වය හේතුවෙන් අසරණ තත්වයට පත් විශාල බස් හිමියන් ප්‍රමාණයකට අබලන් තත්වයේ පවතින බස් රථ අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වී සිටින බැවින් ඒ වෙනුවෙන් සහන ලබා දෙන ලෙස පසුගිය කාලයේ බලධාරීන්ගෙන් ඉල්ලීම කළද, මෙතෙක් වීම ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැති බවද ඔහු පවසා සිටියේය. පොදු ප්‍රවාහන සේව අඩාළ වීම හේතුවෙන් පෞද්ගලික වාහන වීශාල ප්‍රමාණයක් මාර්ගයට පැමිණ තිබෙන බවත්, එබැවින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල විශාල මාර්ග තදබදයක් ඇති වී තිබෙන බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා, එබැවින් ධාවනය වන බස් රථවලට ලැබෙන ආදායමෙන් විශාල මුදලක් ඉන්ධන වෙනුවෙන් වියදම් කිරීමට සිදුව තිබෙන බවද සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)-