මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඊයේ පැවති අයවැය කතාවේදී කොරෝනා හේතුවෙන් ව්‍යාපාර හානියට පත්වීම වෙනුවෙන් හඳුන්වාදුන් වන්දි වැඩසටහන විස්තර කළේ මෙසේය.


‘කිසිදු රජයකට මුහුණ දීමට සිදු නොවූ පරිදි ඉතිහාසයේ දරුණුම අභියෝග රැසකට මුහුණ දිමට වර්තමාන රජයට සිදු වී තිබෙනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. මේ නිසා රාජ්‍ය ආදායම පහත වැටුණා. එම ආදායමට සාපේක්‍ෂව රාජ්‍ය වියදම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා.
එහෙත්, මෙම අභියෝගයට මුහුණ දී, පවතින වසංගත තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා
සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර එන්නත්කරණය සදහා විශාල මුදලක් වැය කරනු ලැබුවා.



රටේ ජනගහනයෙන් සියයට 75 ක් එන්නත්කරණය කිරීම අප රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක්
මෙම වසංගතය නිසා බලපෑමට ලක් වූ සියලු දෙනාට එදිනදා ජීවනෝපායන් අහිමි වීම නිසා රජය විසින් සහනාධාර ලබා දී ඔවුන් රැක බලා ගනු ලැබුවා.

එහෙත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිරත, තවමත් අසාමන්‍යව සිටින කණ්ඩායම්වලට තවදුරටත් සහන සළසා, ඔවුන් ප්‍රධාන ආර්ථික ප්‍රවාහයට නැවතත් ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවය දැඩිව පවතිනවා.

 මෙම වසංගතයේ බලපෑම හේත්තුවෙන් තවදුරටත් තම ව්‍යාපාර නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව සිටින විශේෂයෙන්ම පාර දෙපැත්තේ - කඩ මණ්ඩියක - පොඩි කඩයක - කඩල, වඩේ, බුලත් විට, කොළකැඳ, කඩයප්පන්, තැඹිලි, කුරුම්බා විකුණන, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීමේ වැදගත්කම අප හදුනාගෙන තියෙනවා. එලෙස ම, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ද සහන සැලසීමේ අවශ්‍යතාවය ද දකිනවා.

ඒ අනුව, විශේෂයෙන් ම, කොවිඩ් - 19 වසංගතය පාලනය සඳහා රජය විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් සාජු බලපෑමට ලක් වූ සෑම ක්ෂේත්‍රයක් ම නියෝජනය වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය
පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සදහා වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන වත් කිරීමට යෝජනා කරනවා.

 පසුගිය කාලය තුළ පාසල් වසා තැබීම හේතුවෙන් පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට තමන්ගේ ආදායම සම්පූර්ණයෙන් ම අහිමි වුණා. ජීවන වෘත්තිය අහිමි වීමට අමතරව ලීසිං වාරික ගෙවීම හා වාහන නඩත්තුව සම්බන්ධයෙන් ද ඔවුන් අනපේක්ෂිත දුකරතාවයකට මුහුණ දුන් බව අපි තේරුම් ගත යුතුයි. මෙම ගැටළුව කෙරෙහි සංවේදී වෙමින් පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහන සැලසීම සදහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.



වසා තැබූ කාලයේ ආදායම් අහිමි වූ ත්‍රී රෝද රථහිමියන් සඳහාත් සහන වෙන්කරනවා. විශේෂයෙන් ම, ත්‍රීරෝද රථ වෘත්තිකයන් අපේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සේවයක් සපයන්නන් වෙනවා, දළ දේශීය නිෂ්පාදිතයේ සේවා අංශයේ ඉහළ ම දායකත්වය දක්වන්නන් ඔවුන්. එහෙත්, පසුගිය කාලය තුළ ත්‍රීරෝද රථ ධාවනය කිරීමට නොහැකිවීම හේතුවෙන් ආදායම් අහිමි වූ ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සදහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

 රට වසා තැබූ කාලය තුළ ආදායම් අහිමි වූ පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සලසන්නත් අප අමතක කරන්නෙ නැහැ.
පෞද්ගලික බස් රථ හිමියන් අපේ  මගීන් ප්‍රවාහන සේවය තුළ ඉටු කරන කාර්ය භාරය ඉතා වැදගත්. රට වසා තැබීම සහ නිරෝධාන නීති පැනවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තයට ඇති වූ අහිතකර බලපෑම බරපතලයි. ජනතාවාදි ආණ්ඩුවක් ලෙස අපි මේ අර්බුදකාරී තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන තිබෙනවා. පෞද්ගලික බස් රථ හිමියන් සදහා රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන් කිරීමට අපි තීරණය කරන්නේ ඒ අනුවයි. පෞද්ගලික බස් රථ හිමියන් සදහා පහසුකම් සහ සහන සැලසීමට රුපියල් මිලියන 500 ක් කිරීමට යෝජනා කරනවා.