ජාතික තවුහිත් ජමාත් සංවිධානය කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට සහ ප්‍රසිද්ධ දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට විදේශීය තොරතුරුකරුවකු වට්ස්ඇප් මගින් 2019 වසරේ අප්‍රේල් මස 04 වැනිදා තමාට දැනුම් දුන් පසු, තමා ඒ පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා, පොලිස්පතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා වහාම දැනුවත් කළ නමුත්  අප්‍රේල් මස 09 වැනිදා පැවැති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා නොකළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ 24දා පැවසීය.




නීති විරෝධී නොකර හැරීම හේතුවෙන් පාස්කු දා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් නිලත්ත ජයවර්ධන මහතා එසේ කීය.  නාමල් බලල්ලේ (සභාපති), ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.  ඉන්දීය තානාපති කාර්යාලයට හා කතෝලික පල්ලිවලට පහරද්දෙන තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට,

පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට වහාම දැනුම් දුන්නෙත් අප්‍රේල් මස 09 වැනිදා ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා නොකළ බවට නිලන්ත ජයවර්ධන මහතා පැවසීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ප්‍රශ්නයක් යොමු කරමින්, බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡා නොකළ මෙම කරුණ පිළිබඳව රැස්වීමේ අවධානය යොමු කරවීමේ හැකියාව ඔබට තිබුණා නේදැයි ඔහුගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නිලන්ත  ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානියා ඇතුළු බලධාරීන් එම තොරතුර පිළිබඳ ඒ වන විටත් දැනුවත් කොට තිබූ හෙයින්, බුද්ධි සමාලෝචන රැස්වීමේ අවධානයට යොමු කිරීමට කටයුතු නොකළ බව සඳහන් කළේය.  අප්‍රේල් 16 වැනිදා වනවිට කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හැරීම සහරාන් කළ පෙරහුරුවක් බව තමා පොලිස්පතිවරයාත්,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඇතුළු අංශවල නිලධාරීන් දැනුවත් කළේ යැයි  ද ඔහු පැවසීය.

අයි.එස්. මතවාදය දරන 124 දෙනකුගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්නැයි තමා ඉල්ලීමක් කළ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසූ අවස්ථාවේදී එම ලිපියේ එලෙස ඉල්ලීමක් කළේ කොතැන දැයි ලිපිය පෙන්වමින් ඔහුගෙන් ප්‍රශ්න කළ විනිසුරු මඬුල්ල අධිකරණයේ කාලය නාස්ති නොකර අහන ප්‍රශ්නවලට උත්තර දෙන ලෙස සාක්ෂිකරුට අවවාද කළේය.

 -මනෝප්‍රිය ගුණස්කර-