New-US-Ambassador-Mahinda-Samarasinghe-resigns-from-Parliament

තමාට ඇමරිකා එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය ලබාදීමට රජය තීරණය කර ඇතිනිසා තමාගේ මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.


65 හැවිරිදි දෙදරු පියකු වන සමරසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඇමති ධූර කිහිපයක් දැරූ අයකු වන අතර ඔස්ට්‍රේලියාවේ සරසවියකින් ආර්ථික විද්‍යා උපාධියක් සම්පූර්ණ කර ඇත.



මින් ඉහත ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳී සිටි ඔහු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම්වරයා ලෙසත් 1980 ගණන්වල ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශකවරයා ලෙසත් සේවය කළේය. ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය යන ආයතනවල ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවය කරන අතරතුර, ඔහු 1986 සහ 1987 වසරවල ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පාලක මණ්ඩල රැස්වීම් සියල්ලටම පාහේ ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ හිස්වන අසුනට ඉදිරියේදී මන්ත්‍රීවරයෙකු නම් කිරීමට නියමිතය.