අධික විස සහිත දුමාරය හේතුවෙන් සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ඇතිවිය හැකි බවට ඉන්දීය අගනුවර පරිසර දූෂණ පාලන ආයතනය අනතුරු ඇඟවීමත් සමඟ නවදිල්ලියේ බලධාරීන් පාසල් සතියක කාලයක් වසා තබන බව සෙනසුරාදා නිවේදනය කළේය.

"සඳුදා සිට, ළමයින්ට දූෂිත වාතය ආශ්වාස කිරීමට සිදු නොවන පරිදි පාසල් වසා දමනු ලැබේ" දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් මිලියන 20 ක ජනතාවක් සිටින මහා නගරයේදී වාර්තාකරුවන්ට පැවසීය.



ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවලින් එකක් ලෙස දිල්ලිය ශ්‍රේණිගත කර ඇති අතර, කර්මාන්තශාලා සහ වාහන විමෝචනය සහ කෘෂිකාර්මික ලැව්ගිනිවලින් පිටවන දුමාරය අධිකය. සෑම ශීත කාලයකම එහි වාතය විෂ සහිත අළු පැහැයක් ගනී.
රුධිර ප්‍රවාහයට ඇතුළු විය හැකි කුඩාම හා හානිකරම  PM 2.5 අංශු මට්ටම් සෙනසුරාදා, වායු තත්ත්ව දර්ශකයේ 300 ට ඉහලට පැමිණ ඇති බව හඳුනාගන්නා ලදි.
එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද උපරිම දෛනික සීමාව මෙන් 20 ගුණයකි.
පාසල් වසනවාට අමතරව කෙජ්රිවාල් සෙනසුරාදා ප්‍රකාශ කළේ දූවිලි මතුවීම වැළැක්වීම සඳහා ඉරිදා සිට දින හතරක් නගරයේ කිසිදු ඉදිකිරීම් කටයුත්තකට ඉඩ නොදෙන බවයි.
රජයේ කාර්යාල කටයුතු නිවසේ සිට ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටි අතර පුද්ගලික ව්‍යාපාරවලට හැකිතාක් නිවසේ සිට වැඩ කිරීමේ විකල්පයන්ට ඇලී සිටින ලෙස උපදෙස් දෙන ලදී.



හුස්ම ගැනීමේ අපහසුතා සහිත රෝගීන්ගේ විශාල වැඩිවීමක්ද රෝහල්වල වාර්තා වී ඇත.
අගනුවර අවට සිටින දස දහස් ගණන් ගොවීහු සෑම ශීත සෘතුවකම ආරම්භයේදීම ඔවුන්ගේ පිදුරු හෝ බෝග අපද්‍රව්‍ය පුළුස්සා දමති.
දිල්ලියේ අසල්වැසි ප්‍රාන්තවල කෘෂිකාර්මික අපද්‍රව්‍ය පුළුස්සා දැමීම - සෑම ශීත සෘතුවකම නගරයේ වායු දූෂණ මට්ටම ඉහළ දැමීමට ප්‍රධාන දායකත්වයක් සපයන බව කියැවේ. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් ලබාදී ඇති නමුත් තහනම නොතකා දිගටම  සිදුකරමින් පවතී.

ස්විට්සර්ලන්ත සංවිධානයක් වන IQAir විසින් 2020 වාර්තාවකට අනුව ලෝකයේ වඩාත්ම දූෂිත නගර 30 න් 22 ක්ම ඉන්දියාවේ ඇති අතර දිල්ලිය ගෝලීය වශයෙන් වඩාත්ම දූෂිත අගනුවර ලෙස ශ්‍රේණිගත කර ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)