ජීවත්වෙන්නේ අවුරුදු 24 යි වෛද්‍යවරු කියා තිබුණා - ගුරු සටනේ ජය සමරන්නට පෙර සමුගත් වරුණි

Ad Code

ජීවත්වෙන්නේ අවුරුදු 24 යි වෛද්‍යවරු කියා තිබුණා - ගුරු සටනේ ජය සමරන්නට පෙර සමුගත් වරුණි

ගුරු උද්ඝෝෂණයක් අතර ගුරුවරියක ඇදවැටී මියයාමේ පුවත රටපුරා මහත් කතාබහක් ඇති වූ මාතෘකාවක් බවට පත්වූයේ ඉකුත් නොවැම්බර් 9 වැනිදාය.  ඒ ගුරු වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් විසින් දෙනියායේදී පැවති විරෝධතාවක් අතර දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියක් හදිසියේ මියයාමත් සමඟය. රටේ වැඩි අවධානයක් දිනාගත් මේ පුවතත් සමඟ එකිනෙකාට චෝදනා එල්ල කර ගන්නට දේශපාලන වේදිකාවට ද මෙය කදිම මාතෘකාවක් විය. එහෙත් ඒ තුළ සත්‍ය, අසත්‍ය තොරතුරු දෝලනය වද්දී වරුණි අසංකා මධුභාෂිණී ගුරුතුමියගේ හදිසි මිය යෑමේ සිද්ධියේ ඇත්ත නැත්ත ගැන කතාවයි මේ.

රටපුරා ගුරු විරෝධතාව පැවැත්වෙන අතර දෙනියායේදී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පැවතියේ පාසල් කාලය නිමවීමෙන් පසු සවස් යාමයේය. ආරම්භයේ එක් තැනක සිට විරෝධතාව දක්වන පිරිස පසුව විරෝධතා පාගමනක් ආරම්භ කරන්නේ කලින් සැලසුම් කළ පරිදිය. එලෙස ගමන්ගන්නා ගුරුවරුන් මඳ දුරක් ගමන්කොට කෙටි රැස්වීමකට මුල පුරන්නේ විරෝධතාව පැවැත්වෙමින් තිබියදීය. ඒ අතර හදිසියේ ක්ලාන්තවී ඇදවැටෙන්නට ගිය ගුරුවරියක් අසල සිටි පිරිස් අල්ලාගෙන වහා දෙනියාය මූලික රෝහලට රැගෙන ගියේය. ගුරුවරිය රෝහලට ගෙන ගියද ඇය ඒ වන විටත් මිය ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

හදිසියේ මෙලෙස මියගොස් සිටියේ මිරිස්වත්ත පාර, ඉහළගම දෙනියාය ලිපිනයේ පදිංචිව සිටි දෙනියාය මධ්‍ය විද්‍යායේ ප්‍රාථමික අංශයේ සේවය කළ ඒ. ඩී. වරුණි අසංකා මධුභාෂිණී නම් විසිහත් හැවිරිදි ගුරුතුමියයි.



පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරු පුහුණුව ලබා වරුණි සිය පළමු පත්වීම ලබා දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට පැමිණ ඇත්තේ දෙදහස් විස්ස වසරේදීය. දියණියන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූ වරුණි තම ගමේ පාසලටම පළමු පත්වීම ලබා පැමිණීම වෘත්තීය සමිති නායකයකු වූ වරුණිගේ පියාට ඇති කළේ අසීමිත සතුටකි. තම පත්වීමෙන් පියා සතුටට පත් වුව ද ඒ සතුට විඳින්නට මව ජීවතුන් අතර නොසිටීම වරුණිට එක්කළේ දුකකි.

වරුණි විද්‍යාපීඨ පුහුණුව ලබමින් සිටියදී සිය මව හෘදයාබාධයකින් මියගොස් ඇත්තේ 2017 වසරේදීය. වැඩිමහල් සහෝදරියන් විවාහපත්ව සිටීමත් නිසා මව මියයාමෙන් පසු තම පවුලේ මවගේ කාර්යභාරය ඉටුකර ඇත්තේ වරුණි විසිනි. එය පියාට ලබා දුන් මහා දිරියක්ව තිබුණි.

අධ්‍යාපනයෙන් පෙරට පැමිණ වරුණි ගුරුවරියක් වීම දක්වා පැමිණිය ද ඇය තම ආයුකාලයෙන් හරි අඩක් ගත කළේ ඖෂධවල සහාය ද ඇතිවයි. ඒ ඇය පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වයස අවුරුදු දහතුනේදී ඇති වූ හෘදයාබාධයක් මත සිදු කළ හෘදය සැත්කමක් හේතුවෙනි.

කුඩා කල ඇති වූ පපුවේ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය වරුණිට වේගවත් කොලොස්ටරෝල් වර්ධනය වීමක් හේතුවෙන් දරුණු හෘදය රෝග තත්ත්වයක් පවතින බැවින් ඇයගේ ජීවිත ආරක්ෂාව සඳහා වහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනයවී තිබුණි. මේ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ නාමල්ගමගේ හෘදය රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ මූලිකත්වයෙන් පුංචි වරුණිට හෘදය සැත්කමක් සිදු කෙරුණේ ඇයගේ ජීවිතය යම් කාලයකට හෝ රැකදීමේ අරමුණෙනි.

සැත්කම සාර්ථක වුවද වරුණි ජීවත්විය හැකි කාලය පිළිබඳ නිගමනයක් වෛද්‍යවරුන් සතුව තිබුණි. ඒ තත්ත්වය දෙමාපියන්ට මහා වේදනවක් ගෙන දෙන ආරංචියක් වුව වෛද්‍යවරුන් විසින් වරුණිගේ වැඩි ආරක්ෂාව සඳහා ඒ පිළිබඳව දෙමාපියන් දැනුම්වත් කර තිබුණි.

“මගේ දුව ජීවත්වෙන්නේ අවුරුදු විසි හතරයි කියා වෛද්‍යවරු මට කියා තිබුණත් අපි ඒ ගැන දුවට දැන්වූයේ නෑ. ඇයට එය නොදැනෙන ලෙස අපි ආරක්ෂා කර ගත්තා. මගේ නෝන නැති වුණාට පස්සෙ ගෙදරට අම්ම වුණේ මගේ රත්තරන් දුව. මේ සිද්ධිය වෙන්න කලින් මාස දෙක තුනක සිට දුව අසනීප වන තත්ත්වයක් තිබුණා.


මේ ගැන දෙනියාය ඉස්පිරිතාලේ දොස්තර මහත්වරුන්ට පෙන්වූ විට දුවට හෘදයාබාධයක් ඇති බව පවසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට යැව්වා. එහිදී දුව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරු නැවත ශල්‍යකර්මයක් කරන්න බෑ කියා කිව්වා. පසුව දුවගේ ජීවිතය ආරක්ෂා කර ගන්න අපි හෙළ වෙදකමේ පිහිට පතමින් සිටින විට තමයි මේ දේ සිදු වුණේ”

වරුණි අසංකා ගුරුතුමියගේ පියා වූ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයක ඒ. ඩී. ආරියදාස පැවසුවේය.



වරුණි ගුරුතුමියගේ හදිසි මියයාම ගුරු පද්ධතියටම මහා වේදනාවක් ගෙන දුන් අවස්ථාවක්වී තිබුණි. මාතර දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම් පුරා ඇති සියලු පාසල් වල වරුණි නමින් යොදා තිබූ ශෝක ප්‍රකාශ බැනර ඒ බව මනාව පසක් කර තිබුණි.

“වරුණි රෝගයකින් පෙළෙන කාන්තාවක් වුණත් කිසිම විටක ඒ පිළබඳ සිතුවේ නෑ. හැම විටම දරුවන් වෙනුවෙන් වැඩ කළා. තම ගුරු පරපුරේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටියා. වරුණිට මෙම ශක්තිමත් බව ලැබී තිබුණේ පියාගේ ආභාසයෙන්. වරුණි මියගිය දින පෙරවරුවේ අපි ගොවි උද්ඝෝෂණයක් දෙනියායේදී පැවැත්වූවා. වරුණිගේ තාත්තා එහි ක්‍රියාකාරිකයකු ලෙස සිටියා. හවස ගුරු විරෝධතාවට වරුණි ආවා. ඇය විරෝධතාවයට ඒමට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයටත් රාජකාරි අවශ්‍යතාවක් සඳහා ගොස් තිබුණා. පසුව විරෝධතාවට එක්වුණු වරුණි රෝගි බව අමතක කර කිලෝමීටරයත් තරම් දුර පයින් විරෝධතාවයේ ගමන් කළා. පසුව අපි නැවතී රැස්වීමත් පැවැත්වූවා. ඒ අතරයි වරුණි හදිසියේ ක්ලාන්තවී වැටෙන්නට ගියේ. ඇය කඩිනමින් රෝහල ගත කළත් ඵලක් වුණේ නෑ. රටට වටිනා කාන්තාවක් අපිට අහිමි වුණා”


ලංකා ගුරු සේවා සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් ලාල් ප්‍රේමනාත් පැවසුවේය.

වරුණි ජීවත්වන්නේ වයස අවුරුදු විසි හතරක් දක්වා පමණක් බවට වෛද්‍යවරු නිගමනය කර තිබුණ ද වරුණි වයස අවුරුදු විසිහත දක්වා තවත් වසර තුනක් ජීවත්වන්නට වාසනාවන්තවී සිටියේ ඇය තම අසනීපය පසෙක තබා දරුවන් වෙනුවෙන් සිදු කළ අසීමිත කැපකිරීම්වලට ලද අශීර්වාදයක් ලෙසය.

ගුරු පුහුණු, උපාධි, පශ්චාත් උපාධි, ඩිල්ලෝමා කෙතරම් තබුණ ද ප්‍රථමික දරුවන්ට ඉගැන්වීම විශේෂඥ කාර්යයකි. එයට ඉවසීම, කැපවීම මෙන්ම පෙර සූදානම බොහෝ අවශ්‍ය ය. රෝගී තත්ත්වයෙන් පසුවූ වරුණි 2 ශ්‍රේණියේ දරුවන්ට වසර දෙකක් පුරා ඉගැන්වීම් කටයුතු සිදුකිරීම ඇයගේ කැපවීම හා දක්ෂතාව මානව පෙන්නුම් කරන්නකි.

වරුණි අසංකා ගුරුවරියක ලෙසත් සමාජයට ආදරය කළ තරුණියක ලෙසත් සිදු කළ මෙහෙවර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මෙලෙස විස්තර කළාය.

“ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් සාමූහිකව සටන් වදින්න ඕන වෙලාවක කල්මරමින් මඟ හරින පිරිසට වරුණි කදිම ආදර්ශයක් ලබා දුන්නා. ඇයගේ රෝගී තත්ත්වය පෙන්වා මෙම වැඩවලට සම්බන්ධ නොවී සිටින්න ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඒත් ඇය එහෙම කළේ නෑ. රෝගී තත්ත්වය මතුව නැවත ප්‍රතිකාර ගනිමින් සිටින අතර තමයි මේ විරෝධතාවට ඇය ආවේ. ඇය වටිනා අදහස් තිබූ හොඳ කාන්තාවක්”


දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්. ජී. දයාරත්න තම ගුරුතුමිය පිළිබඳ මෙලෙස පැවසුවේය.



“වරුණි ගුරුතුමිය අපේ විද්‍යාලයේ එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා ඉගෙනුමලැබූ ආදි ශිෂ්‍යාවක්. ශ්‍රීපාද විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කර 2020 ජූලි 20 දින තමයි ගුරුවිරියක ලෙස අප විද්‍යාලයේ වැඩ බාර ගත්තේ. ඇය වැඩකරන විට කිසිම දිනක රෝගී තත්ත්වයෙන් සිටින බව පෙන්වූයේ නෑ. ඇය මියගිය පසුව තමයි රෝගී තත්ත්වයෙන් පසුවූ කෙනෙක් බව මම වගේම අපේ ගුරු මණ්ඩලයත් දැන ගත්තේ. කිසිම විටක වැඩ අතපසු කළේ නෑ. මියගිය දිනයේ උදේ ඇවිත් කාර්යසාධන වාර්තා අත්සන් කරගෙන ගියා. මට පුදුම හිතෙන සිදුවීම තමයි. මෙවැනි රෝගීන් මහන්සි වෙන්නේ නෑ. ඒත් මෙම ගුරුතුමිය එලෙස නෑ. මිය ගිය දිනයේත් විෂය නිර්දේශයේ තිබෙන දරුවන් සමඟ බෝල සෙල්ලම් කරන විනාඩි විස්සක ක්‍රියාකාරකම එයා විනාඩි හතළිහක්ම සිදු කරලා. මේ ගුරුතුමිය හරි සතුටින් දරුවන් සමඟ විනෝද වේවී ක්‍රියාකාරකම කර තිබෙනවා. එහෙත් වෛද්‍ය මතය අනුව මෙම තත්ත්වය වෙනස්කරන්න බෑ. ඇය නියමිත කාලයටත් වඩා ජීවත්ව ඇති බව තමයි කියන්නේ. ඒකත් ඇය ලැබූ වාසනාවන්ත අවස්ථාවක්”


-ජයසිරි පේදුරුආරච්චි, ගන්දර 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu