Is-it-good-to-eat-one-egg-a-day

 දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නා ලෙස උපදෙස් දෙන ලිපි කිහිපයක් පසුගිය දිනවල පුවත්පත්වල පළවිය. නිරෝගී පුද්ගලයෙක් දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධයක් හෝ ආඝාතයක් හෝ වැලඳීමේ අවදානමක් නැති බව අධ්‍යයනයන් දෙකකින්ම පෙන්වා දී තිබේ. නිරෝගී පුද්ගලයන්ට දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම පර්යේෂකයන් විසින් නිර්දේශ කර තිබේ. 

නිරෝගී පුද්ගලයෙක් යනුවෙන් අදහස් කරන්නේ හෘදයාබාධයක් වැලඳීමට තුඩුදෙන හේතු නොමැති අයය.අධි රුධිර කොලොස්ට්‍රෝල් මට්ටම්, අධි රුධිර පීඩනය, ස්ථුලතාව, දියවැඩියාව ආදි රෝගාබාධයන්ගෙන් පෙළෙන හා දුම්පානය කර එමෙන්ම ප්‍රමාණවත් ව්‍යායාමයක් නොකරන සහ අහිතකර ආහාර රටාවන්ගෙන් යුත් තැනැත්තන්, හෘදයාබාධ වැලඳීමට තුඩුදෙන හේතූන් සහිත අය ලෙස හැඳින්වේ.බිත්තර ආහාරයට ගන්නා තැනැත්තන්, ඌරුමස්, මේදය සහිත කිරි සහ රතුමස් ආදිය කෑමට වැඩි කැමැත්තක් දක්වන හා මේද රහිත කිරි, එළවළු, පලතුරු ආදිය කෑමට වැඩි කැමැත්තක් නොදක්වන අය බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. නිරෝගී කාන්තාවන්ට දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම ආරක්ෂාකාරී බව ඔප්පු කිරීමට නිශ්චිත සාක්‍ෂි ලැබී නැත යනු පර්යේෂකයන්ගේ මතයයි. දියවැඩියාවෙන් පෙළෙන තැනැත්තෙක් දිනකට බිත්තරයක් හෝ දෙකක් ආහාරයට ගතහොත් ඔහුට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව බෙහෙවින් වැඩිය. කෙනෙකුට හෘදයාබාධ වැනි දරුණු රෝගාබාධ වැලඳීම කෙරෙහි ජානමය බලපෑම් හා ජීවන රටාවන්ද බෙහෙවින් බලපායි.
ඇමෙරිකානු හෘද සංගමය පවසන අන්දමට, දුම්පානය නොකිරීමෙන්, අධි රුධිර පීඩනය පාලනය කර තබා ගැනීමෙන්,
මි. ග්‍රෑම් 200කට අඩු රුධිර කොලොස්ට්‍රෝල් මට්ටමක් තබා ගැනීමෙන් සහ නිතිපතා ව්‍යායාම කිරිල්ලෙන්, හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව අඩු කරගත හැකිය. දියවැඩියාව, පවුලේ අයට හෘදයාබාධ වැලඳී තිබීම සහ ස්ථුලතාව ආදිය ද හෘදයාබාධ වැලඳීමට තුඩු දෙන අවදානම් සහිත හේතූන් කිහිපයකි.



 රුධිර කොලොස්ටෝල්

කොලොස්ටෝල් යනු මේදයක් නොවේ. එය මිනිසුන් ඇතුළු සියලු සත්වයන් විසින් නිපදවනු ලබන ඉටි ආකාරයේ මේද ද්‍රව්‍යයකි.
ශාරීරික ක්‍රියාකාරිත්වයන් බොහොමයකට කොලොස්ටෝල් අවශ්‍ය කෙරෙන අතර, ස්නායු තන්තු පරිවෘත්තිය කිරීමටත් සෛල බිත්ති ආරක්ෂා කිරීමටත් විටමින් ඩී, විවිධ හෝමෝන සහ ජීර්ණ යුෂ නිපදවීමටත් ඒවා උපකාරි වේ. මේ නිසා රුධිර කොලොස්ටෝල් මට්ටම වැඩිවීම හේතුකොටගෙන හෘදයාබාධ වැලඳීමේ අවදානම වැඩි කෙරේද යන්න පිළිබඳව සුළු සැකයක්ද පවතී.එක්සත් ජනපදයේ ආහාර මඟ පෙන්වීම් හා ඇමෙරිකානු හෘද සංගමය, දිනකට කොලොස්ටෝල් මි. ග්‍රෑම් 300ක් ගැනීම නිර්දේශ කර ඇති අතර, මේ දක්වා කිසිවෙක් මෙම ප්‍රමාණය අභියෝගයට ලක්කර නැත.. අමුවෙන් තම්බා හෝ ඔම්ලටයක් ආදි කොයි ආකාරයෙන් වුවද බිත්තර බෙහෙවින් රසවත් ආහාරයකි. තවද ඒවා පිළියෙල කිරිමද, ඉක්මන් මෙන්ම ලෙහෙසි පහසු කාර්යයකි. බිත්තර කහ මදයක කොලොස්ටෝල් මි. ග්‍රෑම් 212 ක් අඩංගුය. මෙය වැඩි අවදානම් සහිත තත්වයක පසුවෙන තැනැත්තෙකුට දිනකට සුදුසු ප්‍රමාණය ඉක්මවන්නකි. එහෙත් බිත්තර සුදු මදයේ සංතෘප්ත මේදය හෝ කොලොස්ට්‍රෝල් හෝ අඩංගු නැත. සංතෘප්ත මේද ප්‍රමාණය මෙන්ම කොලොස්ටෝල් ප්‍රමාණයද අඩු, ඔමෙගා 3 මේද අම්ලය හා බහු අසංතෘප්ත මේදය වැඩි, ඔමෙගා 3 නම් බිත්තර විශේෂය අප රටේ තවම දක්නට නැත.

ඒවා ආනයනය කළද මිල බෙහෙවින් අධික විය හැකිය.
අප ගන්නා ආහාරවල අඩංගු කොලෙස්ට්‍රෝල් සහ අපගේ රුධිරයේ ඇති කොලෙස්ට්‍රෝල් (මස්තු කොලොස්ට්‍රෝල්) අතර වෙනසක් තිබේ. මස්තු කොලොස්ටෝල් මට්ටම වැඩි තැනැත්තන්ට, කොලෙස්ට්‍රෝල් අඩංගු ආහාර වැඩියෙන් කෑමට නොගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. කොලෙස්ට්‍රෝල්අධික ආහාර ගණයට රතුමස්, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් සහ බිත්තර ආදිය ඇතුළත් වේ. බිත්තර ආහාරයට ගන්නා වැඩි දෙනෙක් රතු මස් වර්ග, ගොවිපොළ නිෂ්පාදන, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි දෑ ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අය වේ. මේවායේ මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැඩිය. කොලෙස්ට්‍රෝල් පරිවෘත්තිය ක්‍රියාකාරිත්වය කෙරෙහි ජානමය හේතූන්ද බලපායි.

රතුමස් හා ගොවිපළ නිෂ්පාදනයන්ට අමතරව දිනකට බිත්තර දෙක තුනක් ආහාරයට ගන්නා සමහර පුද්ගලයන්ගේ කොලෙස්ට්‍රෝල් මට්ටම සාමාන්‍ය තත්වයේ පවතී. දිනකට බිත්තර එකක් හෝ දෙකක් ආහාරයට ගත්තත් සමහරුන්ගේ මස්තු කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ නගී. එබැවින් හැම කෙනෙකුටම දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම සුදුසු නැත.යහපත් හැම දෙයකම මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීම
හොඳම ආහාර වේලක්, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් හා තන්තු අන්තර්ගත පාන්, ධාන්‍ය, පලතුරු, එළවළු ආදියෙන් සමන්විත වේ. සමතුලිත ආහාර වේලකට ප්‍රෝටීන් අධික ආහාර, මේදය අඩු ගොවිපළ නිෂ්පාදන හා මාළු වැනි මුහුදු ආහාර ඇතුළත්ය. මෙහිලා දියර වර්ගද අමතක නොකළ යුතුය. ඔබට නිතර පිපාසය නොදැනුණත්, දිනකට ජලය, කිරි හෝ පලතුරු යුෂ අඩු වශයෙන් වීදුරු හයක් වත් පානය කරන්න.ඔබ බිත්තර කෑමට ආශාවක් දක්වන්නේ නම් හා ඔබේ මස්තු කොලෙස්ට්‍රෝල් මට්ටම තවම පරික්ෂාකර බලා නැත්නම් සතියකට බිත්තර දෙකක් ආහාරයට ගැනීමේ වරදක් නැත.

මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය සාමාන්‍ය තත්වයේ පවතී නම් දිනකට එක බිත්තරයක් ආහාරයට ගන්න.ලොකු බිත්තරයක මේදය ග්‍රෑම් 4. 5ක්ද, (මින් ග්‍රෑම් 1.5ක් සංතෘප්ත මේදයයි) කොලෙස්ට්‍රෝල් මි. ග්‍රෑම් 213ක් හා කැලරි 70ක්ද අඩංගුය. හැමවිටම ශීතකරණවල බහාලූ අලුත් පිරිසිදු බිත්තර ආහාරයට ගැනීමට වගබලා ගන්න. නිවසේ ඇති බිත්තර හැමවිටම ශීතකරණයේ තබන්න.එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග පාන් හෝ බත් වැනි මේදය අඩු ආහාර සමග බිත්තර ගන්න.

 රුධිර කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි කිරිමට ආහාරවල සැඟව සිටින බලවත් සතුරා කොලොස්ටෝල් නොව ඒවායේ අඩංගු සංතෘප්ත මේදය බව මෑතකදී කර ඇති පර්යේෂණවලින් හෙළිවී තිබේ.

යහපත් පෝෂණයට නියම මග මධ්‍යස්ථභාවයයි. වැඩි මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයකින් යුත්, ආහාරමය කොලෙස්ට්‍රෝල්වලට සංවේදීතාවයක් දක්වන තැනැත්තන්, බිත්තර කහ මදය ගැනීම සීමා කළ යුතුය. එවිට දිනකට නිර්දේශිත ප්‍රමාණය වන මි. ග්‍රෑම් 300 නොඉක්මවනු ඇත. බිත්තර සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු තවත් කරුණක් නම් ඒවා, සැල්මොනෙලා එන්ටරිටිඩ්ස් බැක්ටීරියාවන් ගෙන් දූෂණය වී තිබේද යන්න යන වගය. මෙමගින් ජඨර ආන්ත්‍රික ආබාධ ඇතිවිය හැකිය.

 වියපත් අය වැනි දුර්වල ප්‍රතිශක්තියෙන් යුත් තැනැත්තන් තමන් ආහාරයට ගන්නා බිත්තර බැක්ටීරියා ආදියෙන් දූෂණය වී තිබේදැයි සැලකිලිමත් වීමටත්, හොඳින් පිසින ලද බිත්තර ආහාරයට ගැනීමටත් වග බලාගත යුතුය.ඔබ බිත්තර කෑමට ආශාවක් දක්වන්නේ නම් ඔබේ මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පරික්ෂාකරවා ගෙන එය වැඩිනම් මේවා ආහාරයට ගැනීම පිළිබඳව පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය. කලින් සඳහන් කර ඇති පරිදි ඔබ වෙනත් කිරීම අවදානම් හේතුවලින් යුත් තැනැත්තෙක් නම් දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම සුදුසු නැත.ඔබ සාමාන්‍ය මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයකින් යුත් හෘදයාබාධ වැලඳීමට තුඩුදෙන වෙනත් හේතු රහිත පුද්ගලයෙක් නම්, කිසි බියක් නැතුව දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමේ වරදක් නැත. වෛද්‍යවරයා ඈතින් තැබීම පිණිස දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් විමසීම මෙන්ම, ඔබගේ රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම, මස්තු කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පරික්ෂා කරවා ගැනීම හා බර ද කියා බැලීම නුවණට හුරුය

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස