Fears-missing-Chinese-tennis-star-Peng-Shuai

චීනයේ හිටපු උප අගමැතිට ස්ත්‍රී දූෂණ චෝදනා කළ දා සිට මේ වනතුරු අතුරුදන්ව ඇති බවට වාර්තා පළවන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි තැන දරමින් සිටින ජනප්‍රිය චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ෂවුයි සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.
ඇය අතුරුදන් බවට පසුගිය දින කිහිපය තුළ කතාබහ වැඩිවූ පසුව චීන රාජ්‍ය මාධ්‍යයක් වන CGTN මගින් ඇය ලියුවාය කියන ඉංග්‍රීසි භාෂා විද්‍යුත් තැපෑලක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සටහන් වන්නේ ඇය ඉංග්‍රිසියෙන් ලියූ බව කියන ඊමේල් සටහනකි.
'ලිංගික අතවර චෝදනාව ඇතුළු එම නිවේදනයේ සඳහන් පුවත් සත්‍ය නොවේ. මම අතුරුදහන් වී නැත, මම අනාරක්ෂිත ද නොවේ. මම දැන් ගෙදර විවේක ගන්නවා, සියල්ල හොඳින්.'

එහි සටහන් වේ.


කෙසේ වෙතත් ලෝක කාන්තා ටෙනිස් සංගමයේ (WTA) ප්‍රධානී ස්ටීව් සයිමන් පැවසුවේ පෙන්ග් විසින්ම ඊමේල් පණිවුඩය ලියා ඇති බව තමාට 'විශ්වාස කිරීමට අපහසු' බවත් එය 'ඇයගේ ආරක්ෂාව ගැන සැකය තව වැඩි කරන' බවයි.
සයිමන් පැවසුවේ සති දෙකකට පෙර  චීන සමාජ මාධ්‍ය හරහා තමාව ලිංගිකව හැසිරීමට බල කළ බවට 75 හැවිරිදි හිටපු අගමැතිවරයෙකු හා කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරියෙකු වන ෂැං ගඕලි හට චෝදනා කළ දා සිට කිසිවෙකු පෙන්ග් සමඟ සෘජුව සම්බන්ධ වී නොමැති බවයි.
පෙන්ග් ප්‍රථම වරට ප්‍රධාන සිරස්තල මවන්නේ පසුගිය නොවැම්බර් 2 දා ඇය සිය පුද්ගලික Weibo ගිණුම
 (චීනයේ ෆේස්බුක් වෙනුවට භාවිතවන ජනප්‍රියම අඩවිය) ට ෂැං ගඕලි සමග වසර ගණනාවක් පුරා පැවති සබඳතාවයක් ගැනත් එහිදී ඇයව ලිංගිකව හැසිරීමට බල කළ බවටත් චෝදනා කරමින් දීර්ඝ සටහනක් උඩුගත කළ අවස්ථාවේදීය.

2011 වසරේ පෙන්ග්ට ටියැන්ජින් වරාය නගරයේදී ඔහු මුණගැසුණු බවත් ඔවුන් අතර හඳුනාගැනීමක් ඇතිවූ බවත් පෝස්ටුවෙන් හෙළි කළාය.
එම වසරේ වරක් පෙන්ග්ට යහන්ගතවීමට ඔහු ආරාධනා කළ බව ද පසුව සියලු සබඳතා කපා හැරීමට ඇය ක්‍රියා කළ බවද හෙළි කර ඇත. වසර 7 ක් තිස්සේ ඔහු දේශපාලනයේ ඉහළ පුටුවක සිටි බවත් ඒ කාලයේ මුණ නොගැසුණ බවත් දන්වා ඇත.
පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 2018 දී මෙම සම්බන්ධය නැවත ඇති කරගන්නට උත්සාහ කළ බවත්, පෙන්ග්ට ඔහු තම බිරිඳ සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කළ බවත්, පසුව ඔහු ඇයට ලිංගිකව හැසිරීමට බලපෑම් කළ බවත් කියා තිබේ.
එය වසර තුනක 'අප්‍රසන්න' සබඳතාවක් ලෙස පෙන්ග් චෝදනා කළ අතර එම සම්බන්ධය කිසිදා සිදු වූ බවට 'සාක්‍ෂි නොමැති' බව ඇය එම පෝස්ටුවේදී පිළිගන්නේ ඔහු එය සම්පූර්ණයෙන්ම රහසක් ලෙස තබා ගැනීමට බල කළ බැවිනි.

ඇගේ සටහන අවසන් වූයේ:
' බිත්තරයක් ගලකට විසි කළාක් මෙන්, සලබයෙකු ස්වයං විනාශය සඳහා ගිනි දැල්ලකට හෙළන්නාක් මෙන්, මම ඔබ සමඟ ඇත්ත කතා කරන්නෙමි.'

යනුවෙනි.

2014 දී කාන්තා ටෙනිස් සංගමය විසින් යුගල ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වූ පළමු චීන ක්‍රීඩිකාව බවට පත්වූ පෙන්ග් යනු චීනයේ ජනප්‍රිය ක්‍රීඩිකාවකි. ඇය දැනට ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයේ පසුවෙයි.
චීන රාජ්‍යය විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලබන Weibo වෙත උඩුගත කර විනාඩි 20ක් ඇතුළත ඇයගේ සටහන ඉවත් කර තිබුණි.ඇය තවම අතුරුදන්ය.
Weibo පරිශීලකයින්ට Peng හෝ Zhang ගැන කිසිවක් පළ කිරීම තහනම් කර ඇත.

චීන හියුමන් රයිට්ස් ඩිෆෙන්ඩර්ස් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම වැඩිදුරටත් කියා සිටියේ විද්‍යුත් තැපෑල 'මුහුණත වටිනාකමින් නොගත යුතු' බවත්, රජය හෝ එහි නිලධාරීන් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කරන පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ ඉතිහාසයක් චීන රජයට ඇති බවත්ය.

සෙසු ටෙනිස් ක්‍රීඩිකාවන් පෙන්ග්ගේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රවෘත්ති සඳහා ප්‍රමුඛ පෙළේ ආයාචනා කරමින් සිටින අතර, ජපාන ටෙනිස් තරුව නයෝමි ඔසාකා පවසන්නේ ඇයගේ හදිසි අතුරුදහන් වීම නිසා තමන් කම්පනයට පත් වූ බවයි.
(ඩේලි මේල්ඇසුරිනි - Gossiplankanews.com)