Endless-suspicion-that-ended-in-blood

පාසල් වියේ සිට දන්නා හදුන තරුණයකු සමඟ ඇය පෙමින් වෙලෙන්නේ  දෙපැත්තෙන්ම වැඩි හිටියන්ගේ අකමැත්තක් නැතිවය.  හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ තරුණියගේ පියා, මේ සම්බන්ධයට වඩාත් කැමැතිවිය. ඒයුද හමුදා පුහුණුවේදී කියාදෙන පිළිවෙල හා පිරිසුදුකම මේ තරුණයා ඉගෙනගෙන තිබුණ නිසාය.   කාගෙන්වත් අවහිරයක් නොවූ මේ ආදර සම්බන්ධය  නිසොල්මනේ ගලා ගියේ දෙදෙනා දිනෙන් දින තව තවත් සමීපකරවමිනි.  ඇයගේ පදිංචිය කරන්දෙණිය පොලිස් වසමේ දේවාලය අසල,මඩකුඹුරලිපිනයේය. ඇයගේ පෙම්වතා වන සඳුන්ගේ පදිංචිය ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පන්සල අසල,කළුවලගොඩ ලිපිනයේය. නිවෙස් දෙක අතර කිලෝමීටර් හතරක පහක දුරක් තිබුණත් ආදරයටඑය කිසිසේත්ම බාධාවක් වූයේ නැත. කාලය ගෙවී යද්දී පාසල් අධ්‍යාපනයට   සමුදුන් ඇය,රුපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරීමට තීරණය කළාය.ඒඅනුව ඇය, නිපුනතා සංවර්ධන මණ්ඩලය විසින් පවත්වනු ලබන පාඨමාලාවකට සම්බන්ධ වූවාය.එම පාඨමාලාව පැවැත්වුයේ ඇල්පිටියේ පිහිටි එම ආයතනයේ ගොඩනැගිල්ලේදීය.

මේ අතර ඇයට ජංගම දුරකතනයක් ගැනීමට අවශ්‍ය වූවාය.

ඇය තෝරාගත් දුරකතනයේ මිල රුපියල් දහඅටදහසකි. ඇය සන්තකයේ රුපියල් දහතුන්දහසක් තිබූ අතර මදිපාඩුව සැපයීමට පෙම්වතා ඉදිරිපත් විය.  එවකට දෙගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි ඔහු, ඇයට රුපියල්පන්දහසක් ලබාදුන්නේ අනාගත බිරිය ගැන නිතරම සොයා බැලීමට ලැබෙන අවස්ථාව ගැන සිතමින් විය යුතුය.

දැන් දෙදෙනාට හිතේ හැටියට පෙම් කිරීමට හැකිය. ඔහු  ගමේ නැතැයි කියා  ඇයට පාඩුවක්, පාලුවක් දැනුනේද නැත. ඒඅවශ්‍ය ඕනෑම මොහොතක කතාබහ කිරීමට පමණක් නොව මුහුණට මුහුණ බලාගෙන වුව කතාකිරීමට හැකියාව තිබෙන නිසාය. රාජකාරිවලිදී නිදහසේ සිටින අවස්ථාවල මොහු පෙම්වතිය සමග විඩියෝ ඇමතුම් ඔස්සේ කතාකරද්දී කඳවුරේ මිතුරන් පෙ ත්වමින්, ඔවුන් ඇයට හඳුන්වා දුන්නේ වැඩිදුර නොසිතමිනි.  කාලය ගෙවී යද්දී දෙදෙනා අතර නොයෙක් මතගැටුම ඇතිවන්නට පටන් ගන්නේ ඔහුගේ සිතේ ඇයගැන සැකයක් මතු වීම සමගය.

'තමුසෙ ෆෝන් එක මට දීපං.

ඔහු මෙලෙස කියමින් ඇය සමග දබර කරන්නට වූයේ පසුගිය අප්‍රේල් මාසයේ පමණ සිටය,මේ කෝන්තරය දිනෙන්දින දුරදිග ගියත් දෛදෙනාගේ සම්බන්ධය නතර වූයේද නැත.  රූපලාවන්‍ය පාඨලාව පැවැත්වෙන ස්ථානයට ඇයගේ නිවෙසේ සිට බොහෝ දුරක් යායුතුය.

ඇය ඇල්පිටියේ පදිංචි පුංචි අම්මාගේ නිවසේ නතර වන්නේ  වැඩි කරදරයකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙනයැම පිණිසය.  මොහු මීට මාස හයකට පමණ පෙර නිවාඩුලබා නිවෙසට පැමිණීමෙන් පසු යළි සේවයට වාර්තාකර තිබුණේ නැත. මොහු ගැන කිසිදු තොරතුරක් නැති හෙයින් මිතුරන් පෙම්වතියගේ දුරකතනයට ඇමතුම්දී අසන්නට වූයේ ඇයගෙන් හෝ ඔහු ගැන නිසි  තොරතුරක් ලබාගැනීම සඳහාය. මේ බව දැනගත් තරුණයාගේ සිතේ ඇය කෙරෙහි තව සැකයක් මතුවන්නට පටන්  ගත්තේය.ඒ තම යුද හමුදා මිතුරකු සමග ඇය සම්බන්ධයක් පවත්වන බවටය.

 කොපමණ ගැටුම් තිබුණත් ඇය සිය අධ්‍යාපන කටයුතු නතරකළේ නැත, දිනක් ඇය පත්ති ගොස් ආපසු එමින්සිටිය දී එක්වරම මහා වර්ෂාවක් කඩාවැටෙන්නට පටන්ගත්තේය. ඇය සමග මිතුරියක හා මිතුරකු ගමන් කළ අතර වැස්සෙන් බේරීමට මිතුරිය, ඉදිරියෙන් ගිය මිතුරකු කුඩයක් යටට රිංගා ගත්තාය.මිතුරා ඇයගේ කුඩයෙන් සෙවන ලබා ගැනීමට කටයුතු කළේය.  ඒවනවිට පෙම්වතා මේ අසලට පැමිණ  සැගවී සිටියේ ඇයගේ හොර ඇල්ලීමට සිතාගෙනය. ඇය වෙන තරුණයකු සමග එක කුඩේ යටින් යනු දුටු ඔහුට යකා නගින්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.  

 දෙදෙනා ඉදිරියට පැන්න ඔහු, ඇයගේ මිතුරාට පහර දෙන්නට වූයේ දෙදෙනාටම කිසිවක් සිතාගන්නට පවා ඉඩ නොතබමිනි.  තරුණයාටත් පෙම්වතියටත් පහර දුන් ඔහු, සිය නිවෙසට යන්නේ ඇයද ඇඳගෙනය. ටික වේලාවකට පසු ඇය සිය නිවෙසට ගියත් ඔහුගේ සිතේ ඇතිවූ ක්‍රෝධය නම් අඩු වූයේ  නැත.


වරක් ඔහු, පිහියකින් කපා ඇයට තුවාල සිදු කළාය.

ඇයගේ අතක් හා බෙල්ල මෙලෙස තුවාල කළත් ඇය ඒ බව සගවාගෙන සිටියේ වැඩිහිටියන් දැනගතහොත් සිදුවිය හැකි දේ ගැන කල්පනා කිරීමෙන් අනතුරුවය.  එන්න එන්නටම තත්වය නරක අතට හැරෙන්නටවිය. මේ අතර ඔහු ඇයට ඉක්මන්  විවාහයකට බල කරන්නට වූයේ රැකියාවට පවා නොයා   අතන මෙතන රස්තියාදු ගසමින් සිටින තත්වය තිබියදීය. ඇය ඊට කැමැති වුයේ නැත. ඇය පවසා සිටියේ විවාහ විමට පෙර සිය අධ්‍යාපන කටයුතු අවසන් කරගතයුතු බවයි.   ඉන් නොනැවතුන මොහු සිය වැඩිහිටියන්ද සමග ඇයගේ නිවෙසට විත් විවාහයට දීන නියම කරගැනීමට උත්සාහ කළේය.

ඇයගේ මව් පියන් කියා සිටියේ අධ්‍යපන කටයුතු අවසන්වූ පසුව විවාහය සිදුකිරීම සුදුසු බවය.  බලහත්කාරයෙන් හෝ පෙම්වතිය තමා ළගට ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වෙද්දී සඳුන් තව තවත් ඇය ගැන සැක කරන්නට විය. විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය වූයේ ඇයගේ ජංගම දුරකතනය තමා සත්තකයට ගෙන එහි දත්ත සොයාබැලීමය. දිගින් දිගටම ඔහු ඇගෙන් දුරකතනය ඉල්ලුුවත් ඇය, ඊට කැමැති වූයේ නැත.  ඒපසුගිය මස (ඔක්තෝම්බර්) 31 වැනිදා රාත්‍රියයි.මිතුරන් කිහිපදෙනකු සමග පෙම්වතියගේ නිවෙසට එන ඔහු චණ්ඩිකම් පෙන්වන්නට පටන්ගත්තේ නිවැසියන් බියට පත්කරමිනි.  කෝ උඹේ ෆෝන් එක.ඒක මට දීපං..

එලෙස කියමින් මිතුරන් සමග මොහු, ඇයගේ නිවෙස සෝදිසි  කරන්නට වූයේ දැඩි බියවැද්දීම්  අතරතුරය. එහෙත් ඔහුට දුරකතනය  සොයාගැනීමට හැකි වූයේ නැත. අහල පහල අය එලියට එද්දී මොහු ආපසු යන්නේ ඇයගේ මවුපියන්ට මරණ තර්ජනද එල්ල  කිරීමෙන් අනතරුවය.  

 ඇයගේ පියා වසන්තට මේ ක්‍රියාව එතරම් ඇල්ලුවේ නැත. හිටපු  කොස්තාපල්වරයකු වූ ඔහු යුද්ධය පැවැති සමයේ පොලිසියට බැඳි වසර දෙක තුනකට පසු ඒ සමයේම ඉන් ඉවත්වන්නේ යුද්ධයට මුහුණදීම අපහසු වූ නිසා විය යුතුය.  ඉන් අනතුරුව කොරියාවේ රැකියාවකට යන ඔහු නැවතත් මෙරටට  එන්නේ වසර 11ක සේවා කාලයක් නීම කිරීමෙන් අනතුරුවය. රැගෙන ආ මුදල් වලින් නිවෙස සාදා ඉඩකඩම් මිලදී  ගෙන ත්‍රිරෝද රථයක්ද ගන්නා ඔහු මේ වනවිට රැකීයාව ලෙස කරගෙන ගියේ ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් යැමයි.

අනාගත බැනා කළ ක්‍රියාව හේතුවෙන් කෝපයට පත් වසන්ත,සිය ළගම මිතුරකුවන චමින්ද කැඳවන්නේ සිතේ යමක් සගවා ගෙනය. වසත්තගේ කීමට අනුව චමින්ද වහා එහි පැමිණෙන අතර වැඩ පටන් ගැනීමට පෙර දෙදෙනා මත්වතුර පානය කරන්නට වූයේ එවිට ඇගට එන මෙරාල් එක ගැන සිතාවිය යුතුය.  හොඳට පදම් වූ වසන්ත, කාලයක සිට තමා සත්තකයේ තිබෙන බෝර12 තුවක්කුව අතට ගන්නේ පතරොම් තුනක්ද සමගය. මිතුරාද ත්‍රිරෝද රථයට නංවාගන්නා ඔහු කෙලින්ම යන්නේ සඳුන්ගෙ නවෙසටය.  
එ යනවිට සඳුන් සිටියේ මිතුරන් රෝත්තක් සමගය, වසන්ත එම නිවෙස අසලට  ගොස් සඳුන්ට බැණ අඬගසද්දී ඉදිරියට එන්නේ මව ඉන්ද්‍රානිය. 'එයා ඉස්සරහට ඇවිත් ඔය වසන්තලට හොඳටම බැන්නා, අහගෙන ඉන්න බැරි තරමේ කුනුහරුප කිය කිය තමයි බැන්නේ" සිද්ධිය ඇසින් දුටු අයකු එලෙස පැවසුවේ දැඩි හිරිකිතයකිනි.

ඉන්ද්‍රානීගේ බැනිල්ල ඉවරක් නැත. කියන වචනද අමිහිරිය.අතේ තුවක්කුවකුත් තීයාගෙන නිකං ඉන්නේ ඇයි දැයි වසන්නට සිතෙන්නට ඇත. ඔහු ඇය ඉලක්ක කොට වෙඩි තබන්නේ දෙකෙන් එකක් විසඳාගැනීමට සිතාගෙනය.   පළමු වෙඩි පහර ඇයගේ වම් කලවට වදිද්දී ඇය කැ මොර දෙන්නට වූවාය. දෙවැනි වෙඩිල්ලද පත්තු විය.එතෙක් මේ වාග් ප්‍රහාරයට සවන්දීගෙන සිටි සඳුන්, වෙඩි හඩත් සමග ඒඅසලට එන්නේ  වෙඩි කෑ කුරක් පරිදිය. ඔහුගේ සහායට මිතුරන්ද පැමිණි අතර වසන්තගේ අතේ තිබු තුවක්කුව උදුරගන්නා සඳුන් එයින් වසන්තට පහර දෙන්නට වූයේ දැඩි ආවේගයකිනි. මිතුරන්ගේ සහයද ලැබුණු අතර චමින්දටත් ඉඳහිට පහරක් එල්ල විය. මේ දෙදෙනා ආධාර ඉල්ලා කොපමණ කෑ ගැසුවත්  කිසිවකුත් ඉදිරිපත් නොවන්නට ඇත්තේ තමන්ට නිකං ගුටි කන්නට බැරිනිසා විය යුතුය.

පැයකට ආසන්න කාලයක් වසන්තට ගුට කන්නට සිද්ධ විය.

ඒ වන විට වෙලාව රාත්‍රී 11 පමණවී තිබිණි. එම සිද්ධිය දුටු අයකු මේ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබිණි.  තොරතුර ඒමොහොතේම  ඌරගස්මුහන්දිය පොලිසියට ලැබිණි. ඉන් කියැවුණේ කළුවලගොඩ,පන්සල අසල වෙඩි තැබිමක් සිදුවී ඇති බවය. පොලිසිය යන විට තූවාලකරුවන් දෙදෙනා එම ස්ථානයේ සිටිනු දක්නටලැබිණී, එක් අයකු බිම වැටී සිටි අතර අනෙක් පුද්ගලයා ලේ ගලන තුවාල සහිතව ඒ අසල බිම හිඳගෙන සිටියේය, 1990 ගිලන් රථය කැඳවා දෙදෙනා ඇල්පිටිය රෝහලට රැගෙන යාමට   පොලිසිය කටයුතු කළේය.ඒවනවිට සඳුන් නිවෙසේ නොසිටි අතර දැනගන්නට ලැබුණේ වෙඩි වැදී තුවාල ලැබු මව රෝහලට රැගෙන ගිය බවයි. රැගෙන යනවිට වසන්ත මියගොස් සිටි අතර ඉන්ද්‍රානිගේ තුවාලය බරපතල බැවින් ඇය කරාපිටිය රෝහලට පිටත්කර හැරීමට  ඇල්පිටිය රෝහල් බලධාරීහු කටයුතු කර තිබිණි.

පොලිසිය ගොස් සල්ප වේලාවකට පසු සඳුන් නිවෙසට පැමිණි අතර ඔහු අත්අඩංගුවට ගත්තේ මනුෂ්‍ය ඝාතන ඇතුලු චෝදනා කිහිපයකට සැකකරුවකු ලෙසිනි.   වසන්ත මියගොස් ඇත්තේ හිස පිටුපසට එල්ල වී තිබූ තියුණු ආයුධ පහරකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය. ඊට අමතරව ඔහුගේ සිරුරේ බොහෝ තුවාල තිබී ඇත.  වසන්ත ඝාතනය සඳුන් තනිවම කළ දෙයක් නොවිය හැකි බව පොලිසියේ අදහස වූවත් ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයා තවමත් හඳුනාගෙන නැත.

-තක්ෂිලා ජයසේකර-