A-gem-worth-Rs-1-billion-in-the-possession-of-a-businessman-in-Beruwala

ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික පෙනකයිටල් වර්ගයේ රුපියල් කෝටි 100කට තක්සේරු වී ඇති මැණික් ගලක් ප්‍රථම වරට මෙරටින් හමුවී  බේරුවල ප්‍රදේශයේ මැණික් ගල් ව්‍යාපාරිකයෙකු සතුව තිබෙන බව (24) පෙරේදා දින වාර්තා විය. බේරුවල ප්‍රදේශයේ එම මැණික් ව්‍යාපාරිකයා සතු දුර්ලභ ගණයේ මැණික පිළිබඳ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම පෙනකයිටල්  මැණික බවය.  

බලංගොඩ ප්‍රදේශයෙන් එම   මැණික ඔහු මිලදී ගෙන ඇති බවත් එහි බර කැරට් 616.90ක් විතර බවත් එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තක්සේරු කළ බව එම ව්‍යාපාරිකයා පවසයි.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරිමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ  බැවින් එය අධික මිලකින් යුක්ත  බවය. කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පැවසීය.  මැණික් ව්‍යාපාරික මොහොමඩ් පස්රීන් නසීර් මහතා, මේ සම්බන්ධයෙන් කියා සිටියේ " මම සාමාන්‍යයෙන් රට වටේම ගිහින් මැණික් ගල් එකතු කරනවා.

එහෙම කරලා ව්‍යාපාරිකයන්ට සහ විදේශිකයන්ට අලෙවි කරනවා. මේ වන විට කිලෝ 4ක විතර මැණික් ගල් මට එකතු කරගන්න පුළුවන් වුණා. ඒ අතර මේ දුර්ලභ මැණික් ගලත් තිබුණා. ඒ ටික මම විකුණන්න ගියාම  මේක පළිගුවක් කියලා වරක් අයින් කළා. ඊට පස්සේ මම මේක විතරක් පරික්ෂා කරන්න දැම්මා. ඒ වෙලාවෙදි තමයි මම  මේ මැණික් ගල දුර්ලභ වටිනා එකක් බව හඳුන ගත්තේ. මගේ ජීවිතේට මම මේ මැණික් වර්ගය නම අහලා තිබුණෙත් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

  -තුසිත කුමාර ද සිල්වා-