A-father-has-come-to-court-demanding-a-child-who-was-anointed-by-his-mother-at-the-temple

මවක විසින් උතුරු කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ රජමහා විහාරස්ථානයට භාර දෙන ලදුව පැවිදි කර සිටි හත් හැවිරිදි සාමණේර හිමි නමක් ඉල්ලමින් පියා ගොනුකළ  පැමිණිල්ලක් විභාග කළ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි  හාල්පන්දෙණිය මහත්මිය දිසා අධිකරණයේ නඩුවක් පවරා තම දරුවාගේ භාරකාරත්වය ලබා ගන්නා ලෙස එම පියාට නියම කළාය. 



තිස්සමහාරාම ප්‍රදේශයේ ගම්මානයක පදිංචිකරුවකු වූ මෙය දරුවා මවගේ ලිඛිත කැමැත්ත මත විහාරස්ථානයකට භාරදී තිබූ අතර තවත් සාමණේර හිමිවරුන් 15 නමක පමණ එම විහාරස්ථානයේ පැවිදි වී සිටින බවත් ඒ හැම නමක්ම මෙම දරුවා පදිංචි ගම්මානයේම පදිංචිකරුවන් බවත් අනාවරණය  විය.  

දරුවකු විහාරස්ථානයට භාර දීමේදී මව හා පියා යන  දෙදෙනාම කැමැත්ත ප්‍රකාශ කළ යුතුවුවද මෙම දරුවා  විහාරස්ථානයට භාරදී තිබුණේ මවගේ කැමැත්ත මත පමණි. මීට අදාළ සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය දිසා  අධිකරණයේ නඩුවක් පවරා දරුවාගේ භාරකාරත්වය තීරණය කර ගත යුතු බව ප්‍රකාශ කළ අතර එතෙක් සාමණේර හිමිනම අදාළ විහාරස්ථානය භාරයේම තබන ලෙස නියම කළාය.  උතුරු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සිල්වා මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර විහාරස්ථානය වෙනුවෙන් නීතිඥ ඔනිල් පෙරේරා මහතා පෙනී සිටියේය.

 -සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි-