yahani-lelum-comment

ඇත්තට ම ඔරිජිනල් එක ජනප්‍රිය වෙන්නේ නෑ. නමුත් ඒකෙ කවර් එකක් කළා ම ජනප්‍රිය වෙනවා. ඒක තමයි මාකටින් කියන්නේ. දැන් යොහානි ජනප්‍රිය වුණේ සතිෂාන් ගායනා කළ සින්දුවකින්නේ. සතිෂාන් ඒක කිව්වා, චැනල්වල ගියා කාටවත් කිසි ගාණක්වත් තිබුණෙ නෑ. යොහානිගේ ගායන විලාසය, රූපය තමයි ඒ ගීතය ලෝකය පුරා අරගෙන ගියේ.
යොහානි වැරදි ද....?


අනේ නැහැ. එයා එයාගෙ වැඩේ හරියට ම කළා. මේ වගේ කාලෙක යොහානි අපේ රට අරන් ගිය දුර ගැන මං එයාට හදවතින් ම සුබ පතනවා. යොහානි හරි. මං කියන්නේ ඒවාට තියෙන සැලකිල්ල සුභාවිත කලාවටත් තියෙන්න ඕනේ.

 



ජනප්‍රිය රැල්ලට සුභාවිත මුහුණුවරක් දෙන්න බැරිද....?

ජනප්‍රිය හැමදේම මිනිස්සුන්ට හොඳ නැහැ. ජනප්‍රිය කලාවත්, සුභාවිත කලාවත් දෙක ම තියෙන්න ඕනේ. නමුත් සමබර විය යුතුයි. ජනප්‍රිය කලාව විතරක් අරන් ගිහින් හරියන්නෙ නෑ. සුභාවිත කලාවට තියෙන සැලකීම ඉතා අඩුයි. සංගීතය කියන ගෞරවනීය විෂය ධාරාව ගත්තම ලෝකයට යවන්න පුළුවන් දේවල් අපේ රටේ තියෙනවා. මගේ පියාත්, සුනිල් පෙරේරාත් කිව්වා වාසනාවක් තියෙන්න ඕනේ කලාවක් ඉස්සරහට යන්න කියලා. මමත් ඒ දේ විශ්වාස කරනවා.

 
සුභාවිත ගීතයට මාර්කට් එකක් ඕනේ ද...?


දැන් යන විදිහට නම් ගීතයක් මිනිස්සු අතරට යවන්න මාර්කටින් අවශ්‍යයි. නමුත් කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ මාර්කට් කරන්න බෑ. ඒක වෙන ම විෂයයක්. ඒවාට වෙන ම පිරිසක් ඉන්නවා. අපි කරන්නේ ගීත නිර්මාණය කිරීම යි. දැන් වෙලා තියෙන්නේ මාකටින් කරපු අය සින්දු කරනවා. එයාලා හම්බ කරගෙන, ගෙවල් හදලා, වාහන අරගෙන කල් ඉකුත් වුණා ම නැතිවෙලා යනවා. ඉතිහාසය පුරා ම අපි ඒවා දැක්කා. මේ වගේ වෙළෙඳ සමාජයක ඒවට දොස් කියන්නත් බෑ. හොඳ නිර්මාණ ඕනෙ වුණු කාලෙක මිනිස්සුන්ට ඒවා අහන්න අපි නිර්මාණ කරලා තියෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.




ගීතය වෙළඳ නිෂ්පාදනයක් වෙලා ද....?

දැනටමත් ගීතය ලෝකය පුරා අළෙවි වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වී අවසානයි. හැබැයි ඕනෑ ම නිෂ්පාදනයකට කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවා. නිර්මාණවලට එහෙම වෙන්නේ නෑ.
 


මේ ළිං කටෙන් ගොඩ එන්න බැරි ද...?

කොතන හරි අපට වැරදුණා. ඇත්තට ම අපි වරද්දගෙන ඉවරයි. දැන් ඉතින් අපි තනියම හිතලා වැටුණු තැනින් අපි ම ගොඩ එන්න ඕනේ. මිලියන විසි දෙක ම හරියට හිතනවා නම් කවුරුවත් කාටවත් දොස් කිය කියා ඉන්නෙ නැතුව තමන්ගෙ ස්වාධීන නැගී සිටීමක් ඇති වුණොත් රටේ රසිකත්වය යළි ගොඩ නැගේවි. රටට, සමාජයට අවශ්‍ය දෙය මොන ආකාරයෙන් හෝ අපිත් කළ යුතුයි. තමන් කරන දේ හදවතින් හරියට ම අවංක ව කළ යුතුයි. එවිට යහපත් දේ සමාජගත වේවි. ගොඩ යන්න වෙන ක්‍රමයක් නෑ. නරක වැහිලා යනතුරු හොඳ දේ, හරි දේ ම කළ යුතුයි.

(තුෂාරී කළුබෝවිල)