ඉක්වදෝරියානු කෙටිදුර ධාවන ශූරයෙක් වන ඇලෙක්ස් ක්විනෙස් ඉක්වදෝර් ගුවායාකිල්හිදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි.
32 හැවිරිදි ක්විනෙස් 2012 දී ලන්ඩන් ක්‍රීඩා උළෙලේදී මීටර් 200 අවසන් තරඟයට පැමිණි අතර උසේන් බෝල්ට් ජයග්‍රහණය කළ තරඟයේ හත්වැනියා ලෙස අවසන් වී ජාතික වීරයෙකු බවට පත්විය.


දේශීය පුවත්පතක් වන එල් යුනිවර්සෝ වාර්තා කළේ නගරයේ වයඹදිග කොටසේ වීදියකදී සිකුරාදා රාත්‍රී 9:20 ට පමණ ක්විනෙස්ට වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඔහු සමඟ තවත් පුද්ගලයෙකු ද මිය ගොස් ඇති බවත්ය.

ඉක්වදෝරයේ ජනාධිපති ගිලර්මෝ ලාසෝ සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ඝාතනය හෙළාදකින බවත් වරදකරුවන් සොයා දැඩි දඩුවම් කරන බවත්ය.

ඉක්වදෝර ඔලිම්පික්  කමිටුවද ක්විනෙස්ගේ මරණය  සෙනසුරාදා නිවේදනයක් මඟින් තහවුරු කරන ලදී. එහි සඳහන් වූයේ ඔහුගේ මරණයට හේතු වූ කරුණු “මෙතෙක් පැහැදිලි කර නොමැති” බවයි.


2019 දෝහා හි පැවති ලෝක ශූරතාවලියේදී ක්විනෙස් 200 ලෝකඩ පදක්කම දිනා ගත් අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සම්බන්ධ වන්නට බැරිවිය.

මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ ගැටුම් ඔහු මියගිය ගුවායාක්විල් හි වැඩි වශයෙන් වාර්තාවේ. මත්ද්‍රව්‍ය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වසරේ  තුළ පුද්ගලයින් 230 ක් පමණ මිය ගොස් ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)