usa-george-tourist

ලංකාව විවෘත බවටත් සීමා නැති බවටත් පැවති විශාල ප්‍රචාරය නිසා මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු ලංකාවට පැමිණ එවැනි පහසුකම් නැති බව දැනගෙන පැය 5 කින් නැවත හැරී ගිය පුවතක් පසුගිය දින වාර්තා විය.
ඇමරිකානු ජාතික ජොර්ජ් නමැති මෙම සංචාරකයා තමාට සිදුව ඇති අකරතැබ්බය කතාකර වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මෙන්ම කීර්තියට හානියක්ද සිදුවෙමින් පවතී.

කොවිඩ් එන්නත් ප්‍රොටෝකෝලය සම්පූර්ණ කර පැමිණෙන ජාත්‍යන්තර අමුත්තන් සඳහා බුබුලු රහිත අත්දැකීමක් ලබා දෙන බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඔක්තෝම්බර් 1 දා නිවේදනය කළ අතර


මේ බව දැනගන්නට ලැබී ඇමරිකානු ජාතිකයෙකු වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්ද තොරතුරු තහවුරු කරගෙන මෙලෙස පැමිණ තිබේ.
ඔහු ඇමරිකාවෙන් මෙක්සිකෝවටත් අනතුරුව තුැර්කියටත් එහි සිට මාලදිවයිනටත් ගොස් ඇති අතර මාලදිවයිනේ සිට  ඔක්තෝබර් 7 දා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ  ඔහු අයදුම් කළ ලංකාවෙහි ක්‍රියාත්මක ජර්මානු ටැක්සි සමාගමක් හරහා ඔහු පිළිගෙන ඉදිරි කටයුතු සඳහා රැගෙන වනු ඇතිය යන විශ්වාසයෙනි.
සති දෙකක් පමණ රැඳී සිටීමටද බලාපොරොත්තුවී ඇත.
නමුත් අවාසනාවකට ඔහු පැමිණි පසු සොයා බැලීමේදී අදාළ සමාගමේ දුරකථන අංක කිසිවක් ක්‍රියාකර නැති අතර එවැනි නමක් ඇති සමාගමක් නැති බවද ගුවන් තොටුපළින් දන්වා ඇත. අනතුරුව ඔහු තනිවම ඉදිරි වැඩ සොයා බැලීමට විමසීමේදී ලංකාවේ දුම්රිය හෝ බස් රථ ධාවනයක් ඒ වනවිට සිදුනොවන බවත් සංචාරකයින් සඳහා වැඩසටහන් නැවතී ඇති බවත් දැනගන්නට ලැබී ඇත.
‘ඇත්තටම ලෝකයට කියන්නෙ ඔවුන් ඇරල ඔක්කොම හරි කියල නමුත් ගිහිං බැලුවාම සම්පූර්නයෙන් ලොක් ඩවුන්‘ ඔහු කියයි.
මේ නිසා තවදුරටත් අතරමං නොවී ඔහු ලංකාවෙන් පිටවන්නට තීරණය කර තිබේ. ඔහු ඊළඟට තුර්කියේ ඉස්තාන්බුල් වෙත ගොස් ඇති අතර වීඩියෝව සිදු කළේ එහිදීය. එහිදී ඔහුට අවශ්‍ය පරිදි සංචාරයේ ඉතිරිදින ගත කරන්නට හැකිවූ බව දන්වා සිටියි.


වොෂිංටනයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දුන් උපදෙස් අනුව එන්නත් කිරීමේ ප්‍රොටෝකෝල අනුගමනය කරමින් මෙරටට ආවත් දේශීය කාර් කුලියට දීමේ සමාගමේ නියෝජිතයෙකු ගුවන් තොටුපලේදී ඔහු පිළිගැනීමට අපොහොසත් වී ඇතිඅතර  මුලින්ම ගොස් ගුවන් තොටුපල අසල හෝටලයක නැවතී සිටීමට උත්සාහ කළ නමුත් තනිවම ලංකාව තුළ යාමට විකල්ප ප්‍රවාහන සෙවීම දුෂ්කර වූ නිසා බලාපොරොත්තු සුන් වී රට හැර යාමට තීරණය කර තිබේ. මාව නොමග යැවූ ශ්‍රී ලංකාවට ස්තූතියි..
‘තැන්ක්යූ ශ්‍රී ලංකා ෆො මිස්ලීඩින් මී‘ ඔහු වීඩියෝවේදී අන්තිමට කියයි.

අපහසුතාවට පත්ව පැය 5 ක් තුළ යළිත් මෙරටින් පිටත්ව යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන යක් සිදුකරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙයි.