chandimal-speaks

එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හොදින් මුහුණදීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් හොඳ මානසික මට්ටමකින් සිටින බවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු, හිටපු නායක දිනේෂ් චන්දිමාල් පවසයි. වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිමාල් වැඩිදුරටත් පවසා සිටියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ක්‍රීඩා කරන සියලුම කණ්ඩායම් ගැන හොඳ අධ්‍යයනයක් කර තිබෙන බවයි. 

නිමා වූ ඕමාන තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් යම් වෙනස්කම් සිදුව තිබූ අතර, විශේෂයෙන් ආරම්භක පිතිකරුවෙකු වූ අවිෂ්ක ප්‍රනාන්දු අංක 04 පිතිකරු ලෙස ක්‍රීඩා කළේය. ලෝක කුසලාන තරගාවලියේදී යොදාගැනීමට බලාපොරොත්තු වන උපායන් ගැන චන්දිමාල්ගෙන් විමසීය.



"අපි ලංකාවෙන් යන්න කලින් පුහුණු තරග තුනක් ක්‍රීඩා කළා. ඒ තරගවලත් අවිෂ්ක අංක 04 පිතිකරු ලෙස යොදා ගත්තේ. මම හිතන්නේ එම පුහුණු තරගවල වගේම ඕමාන තරගාවලියේදීත් අවිශ්ක එම ස්ථානයේ ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්නා ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් හොඳ සැලසුම් කිහිපයක්ම තියෙනවා.

 මම හිතන්නේ ඒ සැලසුමේ විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ලෝක කුසලාන තරගාවලියේදී අපට සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන්" යනුවෙන් චන්දිමාල් ඊට පිළිතුරු ලබා දුන්නේය. මෙහිදී චන්දිමාල්ගෙන් ඉදිරියේදී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස මෙන්ම ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා දැයි විමසා සිටියේය, "දැනට මට ලැබිලා තිබෙන රාජකාරිය ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරන්න හා කඩුලු රකින්නා ලෙස. කටයුතු කරන්න. කුසල් ජනිත් මේ වනවිට සුව අතට හැරිලා තිබෙනවා. කෙසේනමුත් මට පන්දු රකින්න හැකියාව තිබෙනවා සහ කණ්ඩායමට ඕන විදිය අනුව ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න හැකියාව තිබෙනවා”

යනුවෙන් ඔහු එහිදී පැවසීය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හමුවන කණ්ඩායම් පිළිබඳ ශ්‍රී ලංකාව හොඳ අධ්‍යයනයකින් පසුවන්නේ දැයි මෙහිදී චන්දිමාල්ගෙන් අවසන් වශයෙන් විමසා සිටියේස්ය. "කණ්ඩායමක් හැටියට තරග වදින කණ්ඩායම් තුන ගැනත්, ඔවුන්ගේ පිතිකරුවන් හා පන්දු යවන්නන්ගේ දුර්වලතා හා දක්‍ෂතා ගැනත් ලොකු අධ්‍යයනයක් කර තිබෙනවා. කෙසේ නමුත් අපේ ක්‍රීඩකයන් සියලු දෙනාම හොඳ මානසික මට්ටමක ඉන්නවා. ඒ නිසා හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න කණ්ඩායම් බලාපොරොත්තුවෙන් ඉන්නවා" යැයි චන්දිමාල් ඊට පිළිතුරු දෙමින් පැවසීය.

(සංජීව ධර්මසේන)