යතුරු පැදියෙන් යමින් වැල්ලවත්ත දෙහිවල, කොහුවල යන ප්‍රදේශවල මහ මග ගමන්කරන කාන්තාවගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෙලබැඳි රන්මාල හා අතබෑග් කොල්ලකා පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු එම යතුරු පැදියද සමග ඉකුත් 02 වන දින අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිවල පොලීසිය පැවැසීය.  සැකකරුවන් මතුගම ඇල්කඳුරවිල හා දෙහිවල වෛද්‍යාපාර පදිංචිව සිටින වයස 22 හා 26 හි පසුවන්නන් වන බවත් පොලීසිය කියයි.



දෙහිවල පොලීසිය දූෂණ මර්දන ඒකකය වෙත ලද  තොරතුරකට අනුව දෙහිවල දුම්රියපළ අසල දී මෙම දෙදෙනා සැකපිට සෝදිසි කිරීමේ දී ඒ වන විටත් වැල්ලවත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා රන්මාලයක් ද කොල්ලකා සඟවාගෙන සිටි බව ද පොලිසිය කීය. ඒ අනුව වැඩිදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී දෙහිවල, කොහුවල, වැල්ලවත්ත යන ප්‍රදේශවල අලුයම 5.00  සිට 7.00 අතර කාලයේ මහමග ගමන් කරමින් සිටි කාන්තාවන්ගේ රන්බඩු මංකොල්ලකා එම  රන්බණ්ඩ දෙහිවල, වැල්ලවත්ත යන ප්‍රදේශවල විවිධ පුද්ගලයනට හා උකස් මධ්‍යස්ථානවලට අලෙවිකර තිබිය දී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවත් පොලීසිය කියයි.


 -එච්.එම්. ධර්මපාල-