tender-court

සුදුළූණු ටෙන්ඩරය අනුමත කර ගැනීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා විසින් ලංකා සතොස ආයතනයේ එක්තරා නිලධාරියකුට රුපියල් දහසය ලක්ෂ හතළිස් පන්දහසක  කොමිස් මුදලක් ගෙවනු ලැබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත  ද මෙල් මහතා ඉදිරියේ ඊයේ (07) කරුණු වාර්තා කළේය.  සුදුලූනු කිලෝවකින් රුපියල් 30ක කොමිස් මුදලක් ලංකා සතොස ආයතනයේ නිලධාරියාට ලැබෙන පරිදි  මෙම මුදල ලබා දී ඇතැයි කරුණු අනාවරණය වන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  ඒ අනුව මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ අදාළ නිලධාරියා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.




මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 'එන් එස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ හිමිකරු වන ක්‍රිෂ්ණකුමාර් වසන්ජි යන අය සුදුලූනු මිලට ගැනීම සඳහා ලංකා සතොස ආයතනයට ටෙන්ඩර්පත් තුනක් යොමුකර ඇති බවත්, එම ටෙන්ඩර් පත්‍ර තුන, ඔහුගේ ආයතනයට දෙකක් සහ ඔහුගේ ගෝලයකුගේ සමාගමකින් තවත් එකක් වශයෙන් යොමු කර තිබූ බවට කරුණු  අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.  මෙම සැකකාර ව්‍යාපාරිකයා සුදුලූනු ටෙන්ඩරය අනුමත කර ගැනීම සඳහා කොමිස් මුදල ලෙස වැය කර ඇති මුළු මුදල රුපියල් විසි එක් ලක්ෂ හතළිස් පන්දහසක් බවත්  ඉන් දහසය ලක්ෂ හතළිස් පන්දහසක් ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියකුට ද අනෙක් රුපියල් ලක්ෂ පහ බ්‍රෝකර්වරුන් දෙදෙනාටද, වශයෙන් බෙදී යන ආකාරයෙන් වැය කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායී මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා  සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක් වංචනික   ලෙස මිලට ගෙන සොරබඩු ළඟ තබාගත්තැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ‘එන් එස් එන්ටප්‍රයිසස්  පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  මෙම කරුණු ඉදිරිපත් විය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතීඥ සරත් විජේමාන්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සැකකාර ව්‍යාපාරිකයා මිල ගණන් තුනක් යටතේ ඔහුට අයත් සමාගම් දෙකකින් මෙන්ම ඔහුගේ ගෝලයකුට අයත් සමාගමකින් ටෙන්ඩර් පත් තුනක් ඉදිරිපත් කර, පසුව අවම මිල ඉදිරිපත් කළ ඔහුගේ එන් එස් එන්ටප්‍රයිසස් ආයතනයට මෙම ටෙන්ඩර්පත ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඔහු එක් ටෙන්ඩර් පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන වේලායුදම් ශ්‍රීධරන් නමැත්තා නමින් බවත් ඔහුට සහ මෙහි තෙවැනි සැකකරු වන කමල් කුමාර යන අයට රුපියල් ලක්ෂ පහක මුදලක් මේ සඳහා ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.




ඒ අනුව මෙම සැකකරු, ලංකා සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝවක් රුපියල් 135ක මුදලකට ලබා ගෙන සුදුලූනු කිලෝ 54,860ක් සඳහා  රුපියල් හැත්තෑ හතර ලක්ෂ හැට එක්දහසක මුදලක් වැය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 394, 401, 490, 113 (අ) සහ 102 යන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.  සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ තම සේවාදායකයා අහිංසක ව්‍යාපාරිකයකු බවත්, මෙතැනදී සිදුවී ඇ ත්තේ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් බවය. ඒ හේතුවෙන් තම සේවාදායකයාට සුදුසු කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඇප පනත ප්‍රකාරව සැකකරුට ඇප ලබා දුන්හොත් විමර්ශනවලට බාධා පැමිණවිය හැකි බවට සැලකිල්ලට ගෙන සැකකරු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සතොස ආයතනයේ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූනු කිලෝ 54,860 ක්  තම අභිමතය පරිදි පෞද්ගලික  වෙළඳ ආයතනයකට අලෙවි කර  සාපරාධී විශ්වාසය කඩ කළැයි අත්අඩංගුවට ගනු ලැබූ ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මූල්‍ය) සුසිර පෙරේරා මහතා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණි.


 -නිමන්ති රණසිංහ-