teacher-anuradapura-story

දින පනහක සිය බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට (5දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය බිලිඳිය ඝාතනය කිරීමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් භාරවී ඇති අතර (5දා) රාත්‍රියේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි. අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ඉහළ වැව අලුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට කොටා මරා දමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැගී ගල්නෑව පොලිසියට ගොස් දියණිය මරාදැමූ බව පවසා තිබේ.



සැකකාරියගේ සැමියා දුරකථනයට රීචාර්ජ් කාඩ්පතක් රැගෙන ඒමට වෙළෙඳසලකට ගිය අවස්ථාවේ ඇය බිලිඳියගේ ගෙලට තියුණු ආයුධයෙන් පහරදී තිබෙන බවත් අඟල් තුනක පමණ කැපුම් තුවාලයක් ගෙලෙහි ඇති බව පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ ගුරුවරිය දරුවා ලැබීමෙන් පසුව දැඩි මානසික පීඩනයකට පත්වී සිටි කාන්තාවක බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබිණි.

සැමියා මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා කිසිදු සහයෝගයක් නිවසේදි නොලැබෙන බවත් ඒ නිසා බිලිඳිය මරා දැමූ බවත් ඇය පොලිසියට අනාවරණය කර තිබූ අතර ඝාතනය කරන අවස්ථාවේ සිය මව හා පියාත් කිසියම් කටයුත්තකට නිවසෙන් බැහැරව සිටි බව ඇය පොලිසියට පවසා තිබුණාය. බිලිඳියගේ ගෙලට පොරවකින් පහරදුන් බවට ඇය පැවසුවත් පිහියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනා බව පොලිසිය පවසයි.



දරුවා ලැබීමෙන් පසුව සිය ලේලිය මානසික ආතතියකට ලක්ව සිටි බවත් ඇයව මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීමට ඊයේ (6දා) නියමිතව තිබූ බව ඝාතනයට ලක්වූ බිලිඳියගේ සීයා පැවසුවේය. සැකකාරිය විසින් බිලිඳිය මරාදැමුවත් ඇයට එවැනි සිදුවීමක් කළ බවක් මතකයේ නැති බව පොලිසියට පාපොච්චාරණය කර තිබුණාය.

අත්අඩංගුවට ගත් 29 හැවිරදි උපාධිධාරි ගුරුවරිය ඊයේ (06දා) මිනීමැරීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බුද්ධික මහේෂ් විජේසූරිය-අනුරාධපුර