sri-lanka-australia-cricket

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක  පවසයි.  බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසීය. "ඔට්‍රේලියාව ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා. ඒ ගොල්ලෝ වෙනුවෙන් අපිට වෙන සැලැස්මක් තියෙනවා.



ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එකක් සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා දවසක් අරගෙන අපි සැලසුම් සකස් කළා. මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේගපන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියටම අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා. ඒ නිසා හෙට තරගයට හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා." යැයි අසලංක කියා සිටියේය. උපනායක පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජෝෂ් හෙස්ලවුඩ්, කේන් රිචඩ්සන්, මිචෙල් මාෂ් සහ මාකස් ස්ටොයිනිස් වැනි නම් දැරූ වේගපන්දු යවන්නන් රැසකගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායම, මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින කණ්ඩායම් අතර දක්ෂතම වේගපන්දු බළ ඇණියක් සතු කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි  12දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (28දා) පස්වරු 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මින් පෙර පැවති තරගවලදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 'ඒ' කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබූ ඔස්ටේ‍්‍රලියාව '' කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක තුළ රැදී සිටීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වී තිබේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මස මුල් භාගයේදී 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව හමුවේ විස්සයි20 තරගාවලියක් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවටයළිත් වරක් ඔවුන්ට එරෙහිව තරග බිමට පිවිසීම සඳහා අවශ්‍ය මානසික ඒකාග්‍රතාව ගොඩනගා ගැනීමට ඔස්ටේලියානුවන්ට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය මනා පිටුවහලක් වනු ඇත.

ඇලපතේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී විවේක ගැන්වූ පිටදඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද තරගයේදී යළිත් කණ්ඩායමට එක්වනු ඇතැයි පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ (27) වැනිදා පැවති මාධ්‍ය හමුවේදී තහවුරු කළේය. මේ දක්වා ක්‍රීඩා කළ තරග 3දී කඩුලු 8ක් දවාගෙන සිටින තීක්ෂණ අද තරගයේදී ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවට භාවිත කළ හැකි ප්‍රබලම තුරුම්පුවක් ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් ඔස්ට්‍රේලියාවට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඔස්ටේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ප්‍රකාශ කළේය.

එබැවින් ශ්‍රී ලංකා දගපන්දු යවන්නන්ට මුහුණදීම කෙරෙහි සිය කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජොෂ් හෙසල්වුඩ්ගේ යළි පැමිණීම සිය කණ්ඩායම තවත් ශක්තිමත් කරනු ඇති බවත්, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් (ඩේවිඩ් වෝනර් සහ නායක ඒරන් ෆින්ච්) අද තරගයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණෙනු ඇති බවත් එහිදී වේඩ් පැවසීය. ඔහුගේ එම කියමන නොසලකා හැරිය නොහැක්කේ අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි20 තරග තුනේදී ඩේවිඩ් වෝනර් ශතකයක් (100) සහ අර්ධ ශතක දෙකක් (60 සහ 57) ලබාගෙන තිබීම හේතුවෙනි. එබැවින් අද තරගයේදී කල් වේලා ඇතිවම වෝනර් පිටියෙන් ඉවත් කිර්මට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වුවහොත්, එය ශ්‍රී ලංකා කණ්ඩායමට පසුතැවීමට හේතුවක් වනු නොඅනුමානය.


වෝනර් හැරුණුකොට කල් වේලා ඇතිවම ක්‍රීඩාගාරය වෙත හරවා යැවිය යුතු පිතිකරුවකු වේ නම් ඒ ග්ලේන් මැක්සිවෙල්ය . එදා පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙන මැක්සිවෙල්  ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හොඳ හැටි සිය පිත්ත පදම් කර ගත්තේ තරග 15කදී අර්ධ ශතක 6ක් සමග ලකුණු 53ක් රැස්කරමිනි.පසුගිය සති කිහිපය තුළ දිගින් දිගටම එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කළ මැන්වෙල්, එම ක්‍රීඩාංගණවල තණතීරු හැසිරෙන ආකාරය පිළිබඳව මනා වැටහීමකින් සිටීමද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වනු ඇත. තරගයට පෙර දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත නොවුණ නමුත්, ඔස්ටේලියානු නායකයා සහ පුහුණුකරුවන් කිහිපදෙනකු ක්‍රීඩාංගණයට පැමිණ තරගය සඳහා වෙන්කර තිබූ තණතීරුව පරික්ෂා කරන අයුරු දැකගත හැකි විය.

(ශානුක අරවින්ද)