ගල්කිස්ස මුහුදේ පෙරේදා (26) සවස නාමින් සිටි අවුරුදු 14-15 වයසේ බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනකු රළ පහරකට අසු වී ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් පස් දෙනකු මුහුදට පැන එම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ගල්කිස්ස මුහුදු වෙරළට අයත් නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනා, තවත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සමග පෙරේදා සවස 5.30ට පමණ මුහුදේ නාමින් සිට ඇති බවත්, මේ අවස්ථාවේ රළ පහරකට අසු වී දැරියන් දෙදෙනා ගසාගෙන යන අයුරු දුටු එහි සිටි අයකු මේ බව වෙරළේ රාජකාරියේ නිරතව සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ට වහාම දැනුම් දී ඇති බවත් පොලිසිය පවසයි.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් මුහුදට පැන පිහිනා ගොස්, රළ පහරට ගසාගෙන යන යමින් සිටි දැරියන් දෙදෙනා බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් මූලික ප්‍රතිකාර ලබා දී තිබෙන බව ද පොලිසිය කියයි.
මුහුදේ ගසාගෙන ගිය මෙම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇත්තේ,ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් සැරයන් ප්‍රදීප් මංගල විජේසිංහ (61265), පොලිස් කොස්තාපල්වරුන් වන පී. එම්.යු.ඒ. අබේරත්න (53837), ඊ.එච්.ඩී. පුෂ්පකුමාර (83257) සහ සඳුන් සම්පත් දිසානායක (84656) යන මහත්වරුය. දැරියන් දෙදෙනා බේරා දීම පිළිබඳව එම දැරියන් සමග සිටි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් පොලිස් නිලධාරින්ට සිය ස්තූතිය පළ කර ඇති බව ද කියති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval