deepal-perera

කොවිඩ් අවදානම තවමත් පවතින හෙයින් දරුවන් රැගෙන විනෝද සවාරිවල මේ මොහොතේදී නොයන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. දරුවන් එසේ රැගෙන ගොස් යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් පාසල් කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑමට පවා ඉන් බාධා මතුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

සමහරුන් දරුවන්ද රැගෙන විනෝද සවාරිවල ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව පැවසූ දීපාල් පෙරේරා මහතා බොහෝ පිරිසකට පසුගිය කාලයේදී කොවිඩ් ආසාදනය වී තිබුණේ විනෝද සවාරිවලින් බවද පැවැසුවේය.

එසේම උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි  රෝග ලක්ෂණවලින් පෙළෙන දරුවන්  පාසලට යැවීමෙන් වළකින්නයි තමා ඉල්ලා සිටින බවත් රෝගී දරුවන් පාසල් යැවීමෙන් යළි කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.  දරුවන් අතරමඟ සෙනඟ ගැවසෙන ස්ථානවලට හෝ වෙළෙඳසලට රැගෙන  නොගොස් කෙළින්ම පාසල්වලට යොමු කිරීමට පියවර ගැනීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා හැකි සෑම අවස්ථාවකදීම දරුවන්ට නිවෙස්වලින් පිසු ආහාර ලබාදීමට කටයුතු කරන ලෙසද  මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.


 -සුජිත් හේවාජුලිගේ-