sri-jayawardanepura-hospital-drug

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ වෙළෙදසලක විකිණීමට තබා තිබූ "තහනම් ඖෂධ” පෙති 173ක් නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය  වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (09)  සොයා ගනු ලැබීය.  නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස විෂ මන්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් සහ ආහාර ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී වෙළෙඳ පොළේ විකිණීමට තහනම් මෙම ඖෂධ පෙති අත්අඩංගුවට ගෙන තිබේ.




මානසික රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ගය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් හෙරොයින් වෙනුවට මත්වීමට භාවිත කරන   බවත්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ ඇති මෙම වෙළෙඳසැලේ  එම ඖෂධ විකිණීමට ඇති බවට ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම කළ බවත් පොලීසිය පවසයි. මෙම තහනම් ඖෂධය එක් පෙත්තක් රුපියල් සියයක මුදලකට මෙම වෙළෙඳසැලේදී විකුණා ඇති බවට ද තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.


මෙම ඖෂධය, අදාළ වෙළෙඳ සැලේ සේවකයාට ලබා දී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ජයවර්ධනපුර රෝහල් ශාඛාවේ ගබඩාවේ සේවය කරන සේවකයකු විසින් බවට ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව බලපත්‍රයක් නොමැතිව ඖෂධ සන්තකයේ තබා ගැනීම සහ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලේ සේවකයාට සහ එම ඖෂධ ලබාදුන් බව කියන රෝහල් ගබඩාවේ සේවකයාට එරෙහිව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් නඩු පැවරීමට නියමිතව ඇතැයි ද පොලිසිය පවසයි.


 -නිමන්ති රණසිංහ-