specialist-house-robbery

රාජගිරිය නාවල පාරේ විශේෂඥ වෛද්‍ය යුවළකට අයත් නිවෙසකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න රන් භාණ්ඩ හා රුපියල් හතළිස් දහසක මුදලක් සොරාගත් එම නිවසේ මෙහෙකාරිය ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හැටන්, වටවල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු මවක බව පොලිසිය කියයි. වසරක පමණ සිට මෙහෙකාර සේවයේ නිරත මෙම කාන්තාව, ඉකුත් අප්‍රේල් මාසයේ සිට අවස්ථා 10කදී  පමණ මෙසේ රන් භාණ්ඩ  සොරා ගෙන ඇති අතර, ඒ පිළිබඳව නොදත් වෛද්‍ය යුවළ මෙහෙකාරිය සමඟ සුහදව කටයුතු කර ඇතැයි පැවැසේ.




එහෙත්, ටිකෙන් ටික  නිවෙසේ තිබූ රන් භාණ්ඩ අඩු වීම පිළිබඳව සැක සිතී වෛද්‍ය යුවළ ඉකුත් දා පොලිසියේ පැමිණිල්ලක් කර තිබුණි.  ඒ අනුව, නිවෙසට පැමිණි පොලිසිය, නිවෙසේ මෙහෙකාර සේවයේ නිරත සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, එහි සිටි එක් කාන්තාවකගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී එහි ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් යැවූ රිසිත් කිහිපයක තොරතුරු පොලිසිය සොයා ගෙන තිබුණි. ඒ අනුව, සැක සිතීම කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුලමුල අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.




ඒ අනුව, හෙට්ටිවීදිය ප්‍රදේශයේ වෙළෙඳසල් දෙකකින්  හා හැටන් ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන  දෙකකින් රුපියල් ලක්ෂ හයකට ආසන රන් භාණ්ඩ පොලිසිය සොයාගෙන තිබූ අතර, සොරාගත් රුපියල් 40,000ක මුදල කාන්තාවට වියදම් වී තිබූ බව පොලිසිය පවසයි.  සොයාගත් භාණ්ඩ අතර රන් වළලු, රන් මාල, පෙන්ඩන්ට්, කරාබු, රන් අත් පළඳනා වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කාන්තාව අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න