rohitha-rajapaksa-cricket

අගමැති පුත් රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පරිපාලනයට  සම්බන්ධවීමට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමට යන බවට අද දින ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා පළව තිබෙන නමුත් රෝහිත මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම කතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහුගේ නිවේදනය මෙසේය.


‘මා මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානම් වන බවට විශ්වාසදායක මාධ්‍ය ආයතන ගණනාවක් පුවත් පලකර තිබෙනු දැකීම දැඩි කළකිරීමකට කරුණකි. එල්පීඑල් තරඟාවලියේ ක්‍රීඩා කිරීමටද මම බලාපොරොත්තු වන බව සමහර ප්‍රවෘත්ති වෙබ් අඩවි පවසා ඇත.
මට ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට අදහසක් නැති අතර එල්පීඑල් සඳහා ක්‍රීඩා කිරීමේ අදහසක් ද නැත.
මම කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් මම ඊට මගේ 100% ක් ලබා දෙන අතර ඒ මම ක්‍රීඩා සඳහා කැමති බැවිණි. මම මේ මස 30 සහ 31 දෙදින රග්බි සත් සාමාජික තරඟාවලිය සඳහා දැනට සූදානම් වන අතර දැනට මම අපේ ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමි.
මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළ මාධ්‍ය ආයතන විසින් මගෙන් පූර්ව විමසීමක් නොකිරීම ගැන ගැන මම බෙහෙවින් කලකිරීමට පත්වන අතර මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පල කරන අයගෙන් මා ඉල්ලා සිටින්නේ යමෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

රෝහිත රාජපක්ෂ


-------------------------------

මේ ගැන අද ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව මෙසේය,

ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත අත්තර් ක්‍රීඩා සමාජ එක් තරගාවලියට සහභාගි වීමේ අරමුණ ඇතිව රෝහිත රාජපක්ෂ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වේ. මෙම පුහුණුවීම් ඊයේත් පෙරේදාත් (13 සහ 12) මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.

කළුතර නාගරික ක්‍රීඩා සමාජ කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඊයේ (13 වැනිදා) සරේ විලේජ් හිදී පුහුණු තරගයක්ද පැවැත්වී තිබේ. රෝහිත රාජපක්ෂ එයට සහභාගි වී ලකුණු 20 ක් ලබාගෙන තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්‍ෂ හිටපු රග්බි ක්‍රීඩකයෙකි. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල (සී.සී.සී. ක්‍රීඩා සමාජයේ නිවහන) නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට සහභාගි වී ඇති රෝහිත රාජපක්‍ෂ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.


වාර්තා වන පරිදි බදුරලිය ක්‍රිකට් සමාජයේ පුහුණුකරුවා මෙන්ම ක්‍රීඩකයකුද වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් විසින් රෝහිත රාජපක්‍ෂව බදුරලිය ක්‍රිකට් සමාජයට කැඳවාගෙන ගොස් තිබේ. ජීවන් මෙන්ඩිස්ද ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂගේ අවසන් තෝරාගැනීම වී ඇත්තේ කළුතර නාගරික ක්‍රීඩා සමාජයයි.
 

“රෝහිත රාජපක්ෂ

මේ වන විටත් අපේ කණ්ඩායමත් එක්ක පුහුණුවීම් කරනවා. එත් තවමත් එයා අපේ කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වෙලා නෑ. කොහොමත් එයා අපේ කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වෙලා මේ තරගාවලියේදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”


යයි කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා පැවසීය.

රෝහිත රාජපක්‍ෂ ආරම්භක පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ . එහෙත් ඔහුට පන්දු යැවීමේ අදහසක් නැති බවත් දැනගන්නට ඇත.කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ පළමු තරගය මේ මස 27 වැනිදා නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

රෝහිත කලක් නාවික හමුදා රග්බි පිල වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය 'ඒ' කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි. එන්.සී.සී., යුද හමුදාව, මුවර්ස්, නාවික හමුදාව, කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය, සී.සී.සී, මීගමුව ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය, බී.ආර්.සී. ක්‍රීඩා සමාජය, මහනුවර කස්ටම්ස්, ලන්කන්ස් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදාව 'ඒ' කාණ්ඩයෙන් ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩා සමාජ වෙති.
 
(දමින්ද වීජේසූරිය)