තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇතැයි කියමින් කොළඹ රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු නාරාහේන්පිට පොලිසියට ඊයේ (13 වැනිදා) පැමිණිල්ලක් කර ඇත.
තමාගේ හැඳුනුම්පතේ සඳහන් විස්තර උපයෝගි කරගනිමින් මෙම ව්‍යාජ මරණ දැන්වීම සකස් කර ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත්තේ, නාරාහේන්පිට රජයේ කාර්යාලයක සහකාර අධ්‍යක්ෂවරයකු විසින් බව ද නාරාහේන්පිට පොලිසිය පවසයි.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සහකාර අධ්‍යක්ෂවරයා පදිංචි දොම්පේ පොලිස් වසමේ පිහිටි නිවෙසට පසුගිය ජනවාරි මාසයේ දිනක රාත්‍රී කාලයේ මැර කණ්ඩායමක් කඩාවැදී අලාභහානි සිදු කර තිබූ බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය පවසයි. එම මැර කණ්ඩායම මල්වඩමක් ද නිවස ඉදිරිපිට තබා ගොස් තිබුණ බව ද මේ සම්බන්ධයෙන් එම වකවානුවේ තමා දොම්පේ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද සහකාර අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval