kusal-dhanushka-dikwella

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම කොන්දේසි වලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

එහෙත් ඔවුන් නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ නම් නියමිත දඩ මුදල වන රුපියල් කෝටියක දඩ මුදල ගෙවිය යුතුය. පසුගිය ජූලි මාසයේදී එංගලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටියදී ජෛව ආරක්ෂිත බුබුල කැඩීමෙන් පසු  මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්ද, මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමක්ද පනවන ලදි. ඊට අමතරව රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම කෙරිණි.

දේශීය ක්‍රිකට් තහනම අඩු කිරීම පිළිබඳව පසුගියදා පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී තීරණය කර ඇති අතර,

ලබන මාසයේ සිට ඔවුන්ට තම ක්‍රීඩා සමාජ  නියෝජනය කිරීමට අවසර දෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්,  මොහාන් ද සිල්වා මහතා තහවුරු කර  තිබේ. “දඩ මුදල් ගෙවීමට යටත්ව ඔවුන්ට ආපසු දේශීය තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ දෙන බව අපි අමාත්‍යාංශයට දැනුම් දෙනවා” යැයි ද සිල්වා මහතා ඩේලි මිරර් පුවත් පතට පවසා තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරන ලද මනෝ උපදේශකයෙකු හමුවීමට ද ඔවුන් තිදෙනාට නියෝග කර තිබූ අතර තහනම ඉවත් කිරීම සඳහා  තීරණාත්මක සාධකයක් වන අවසන් වාර්තාව තවමත් ඔවුන්ට ලැබී නැත.   නමුත් ඔවුන් මනෝ උපදේශකවරයා හමුවේ ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

  ක්‍රීඩකයන් තිදෙනාට පනවන ලද  මාස හයක තහනම මේ වසරේ දෙසැම්බර් 28 වැනිදා අවසන් වීමට නියමිතය. එහෙත් ඊට පෙර දේශීය තරග තහනම ඉවත් නොකෙරුණ හොත් මේ මස ආරම්භ වන අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියට සහ දෙසැම්බර් මාසයේදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියට එක්වීමේ අවස්ථාව ඔවුන් අහිමිවී යනු ඇත.