rashmi-phone-story

අයිති නැති දේ වෙනුවෙන් අයිතිය කියා පෑමට යෑම අනුවණ කමකි. මේ කාලයේදී අපි එවැනි ජුගුප්සාජනක සිදුවීම් ඕනෑ තරම් දැක ඇත්තෙමු.

මෙවැනි පුද්ගලයන්ට අවසානයේදී හිමි වන්නේ දුක, කලකිරීම හා ලැජ්ජාවය. ඒ හැම දේකටම වඩා
ඊළඟට සිදුවන්නේ යහපත් සමාජයෙන් කොන්වී සිටීමටය.

අයිති දේ අයිති තැනැත්තන්ට ලබාදී තුටු සිතින් ඒ දෙස බලා සැනසීම තරම් සතුටක් තවත් නැත. එයින්
ලබාගත හැකි වන්නේ මිල කළ නොහැකි පැසසුම්ය.

එවැනි සතුටක් අත්විඳින තැනැත්තියක් එසේත් නැත්නම් නව යොවුන් යුවතියක් අපට හමුවුණි. ඇය දැනට මහනුවර, පොල්ගොල්ල විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන  විසි හැවිරිදි රශ්මි භාග්‍යා රන්දුනුය.


රශ්මි භාග්‍යා මේ භාග්‍යය ලබාගත්තේ තම හදවතට අනුව දෙවරක් නොසිතා ගත් තීන්දුවක් නිසාය.
සැබැවින්ම එය මානුෂික තීන්දුවකි.

ඒ දවස පසුගිය සප්තැම්බර් 29 වැනිදාය. එදා මහනුවර, අලවතුගොඩ, කොණකලගල පිහිටි රශ්මි
භාග්‍යාගේ නිවෙසට පාර්සලයක් ලැබිණි.

ඒ කුරියර් සර්විස් එකකට අයත් වහනයකිනි.

“මේ පාර්සලයේ තිබුණේ මම ඕඩර් කළ ක්‍රීම් වර්ග කිහිපයක්. හැබැයි පාර්සලය ටිකක් ලොකුයි. ඒත් මම
ඒක අස්සන් කරලා ගත්තා. සැක හිතන්න කාරණයක් නැහැනේ”.

රශ්මි භාග්‍යා ඊළඟට කළේ ඒ පාර්සලය දිග හැර බැලීමය. ඒ අනුව ඇය දුටුවේ අදහා ගන්න බැරි
තරමේ දසුනකි.

“පාර්සලය ඇතුළේ තවත් පෙට්ටියක් තිබුණා. මම ඒක ඇරලා බලද්දී තිබුණේ අලුත්ම සැම්සුන් දුරකථන 10ක්.
මට හිතාගන්න බැරි වුණා කවුද මේ දුරකථන ටික මට එව්වේ කියලා. ඒ අනුව මම ඒ පෙට්ටියේ තවත්
මොනවා හරි ලියකියවිලි තියෙනවද කියලා සොයා බැලුවා.”

මේ ආකාරයට සෝදිසි කර බැලූ ඇයට දකින්නට ලැබුණේ එහි කිසියම් ආයතනයක නමක් ලියූ කොළ කැබැල්ලක්
පමණි. ඇය මේ සමාගම කුමක් දැයි අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කර බැලුවේ ඉන්පසුවය.

“මට ඇත්තටම ඕන වුණේ ඒ ආයතනය මොකක්ද කියලා හොයලා බලලා මේ දුරකථන 10 ගැන කියන්න.
මොකද කුරියර් සර්විස් එකෙන් අහලා වැඩක් නැහැනේ. මගේ පාර්සලය ඇතුළෙනේ ඒක තිබුණේ. ඉතින් ඔවුන්
මොනවත් දන්නේ නැතුව ඇති කියලා හිතුණා.”

රශ්මි භාග්‍යා බොහෝ වේලාවක් ගත කරමින් මේ සම්බන්ධව සොයා බැලුවාය. ඒ අනුව ඊළඟට එවැනි
ආයතන කිහිපයකම දුරකථන අංක සොයා ගැනීමටද ඇයට හැකිවුණි.

“මම ඊළඟට ඒ දුරකථන අංකවලට කතා කළා. කතා කරලා දුරකථන කිහිපයක් නැතිවී තිබෙනවා දැයි
විමසුවා. මෙන්න දැන් අයිතිකාරයෝ ගොඩයි.

සාමාන්‍යයෙන් ලෝබකම ඉහවහ ගිය මිනිසුන් තුළ මෙවැනි පහත් පෙළේ ආශාවන් ඇති වීම ස්වභාවිකය. ඔවුන්
අනුන්ගේ දේ වෙනුවෙන් පෙනී සිටින්නේ එය තමන්ගේ කරගෙනය. රශ්මි භාග්‍යාට දුරකථනයෙන් හමුවූ
පුද්ගලයන් තුළද ඒ ලක්‍ෂණය බෙහෙවින් පෙනෙන්නට තිබිණි.

“දැන් මේ අය උත්සාහ ගන්නෙම මේ ටෙලිෆෝන් ටික ගන්න. සමහරු මට යෝජනා කරනවා එකක් තියාගෙන
අනිත් ටික දෙන්න කියලත්. ඒත් මට ඒ හැම කෙනෙක් ගැනම සැක හිතුණා.”

මේ අනුව ඇය ඊළඟට කියා සිටියේ දුරකථන 10 අවශ්‍යම නම් පොලිසියට පැමිණ එය භාර ගන්නා ලෙසය.
නමුත් ඒ ප්‍රකාශයෙන් පසුව බොහෝ දෙනා ඒ හමුවීම ප්‍රතික්‍ෂේප කරන්නට විය.



“කොහොම හරි අන්තිමට මට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඒ අනුව මම අර මට පාර්සල්
එක ගෙනල්ලා දීපු කුරියර් සර්විස් එකට කතා කරලා මගේ පාර්සලය ගෙනත් දීපු නියෝජිතයාගේ දුරකථන
අංකය ඉල්ලා ගත්තා”.

එහෙම සොයාගෙන ඔහුට පෞද්ගලිකව මම කතා කරලා මොනවා හරි නැතිවී තිබෙනවා දැයි ඇහුවා.”

“ඔන්න එතකොට තමයි මට මේ ගැන හරියටම දැනගන්න ලැබුණේ.”

කුරියර් සර්විස් එකට සම්බන්ධ මේ වැඩිමහල් පුද්ගලයා ඒ වනවිටත් මුහුණ දී තිබුණේ කිසිවකු අපේක්‍ෂා
නොකළ අන්දමේ දැඩි මානසික ගැටලුවකටය.

“අනේ මිස් .... මගේ අතින් වැරදිලා ඒ පාර්සලය මිස්ගේ පාර්සලයටම දාලා. ඇත්තටම මටත් මේ ඒක
කොහොමද වුණේ කියලා හොයාගන්න බැරිවයි හිටියේ. මිස්ට පින් සිද්ධ වෙනවා. මම එන්නම් ඒක ගන්න.”
ඔහු කාරුණිකව කීවේය.

“ඔහු එහෙම කිව්වත් මම නිකම්ම ඒක භාර දුන්නේ නැහැ. පසුවදා අලවතුගොඩ පොලිසියේදී හමුවෙන්න කතා
බහ කර ගත්තා. ඒ අනුව මම අර ජංගම දුරකථන 10 අරන් පොලිසියට ගියා.”

“පොලිසියට ගියේ මේ දුරකථන 10 ලක්‍ෂ තුනහමාරක් හතරක් විතර වටින හින්දා. අනෙක මම ඒක නැවත
භාර දුන්න බව නීතිය දැනගන්න ඕන හින්දා.”

පොලිසියට ගිය රශ්මි භාග්‍යා ඒ භාග්‍යවන්ත කටයුත්තට මුහුණ දුන්නේ ඉන් අනතුරුවය.

“පාර්සලය භාර ගන්න ආවේ මැදිවියේ කෙනෙක්. ඔහු මේ රස්සාව කරන්නේ පවුලක් නඩත්තු කරන්න.
සාමාන්‍ය විධියට ජීවත්වන ඔහු ඇත්තටම මේ ප්‍රශ්නය නිසා බිය වූ තරම මා එක්ක කිව්වා.”

“ඇත්තටම මම මේ පාර්සල් එක නැතිවූ වෙලාවේ ඉඳලම හිටියේ හිතාගන්න බැරි විදිහේ ගැටළු ගොඩකට
මැදිවෙලා. මගේ ආර්ථික තත්ත්වය අනුව මට රුපියල් ලක්‍ෂ තුනහමාරක් හතරක් සොයා ගන්න එක ලෙහෙසි
පහසු නැහැ. මට එහෙම හොයා ගන්න හිතන්නවත් බැහැ. ඉතින් ඒ නිසාම මම බයවෙලා හිටියා.
කොහොමද මේ පාඩුව මම හරි ගස්සන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මම අසරණ වෙලා හිටියේ.” ඔහු එසේ
කියමින් රශ්මි භාග්‍යාට අනේක වාරයක් ස්තුති කළේය. පින් දුන්නේය.

සැබෑවටම රශ්මි කළේ මේ කාලයේ බොහෝ අය නොකරන විදිහේ අමුතුම විදිහේ මානුෂික උදව්වකි. ඒ
උදව්ව නිසාම කුරියර් සර්විස්හි දුප්පත් නියෝජිතයාගේ මෙන්ම ඇයගේ හිතට දැනුණේ අපරිමිත සතුටකි.

“අපි අනුන්ගේ දේවල් එහෙම ගන්න කලින් හිතන්න ඕන තමන්ට එහෙම වුණොත් කොහොමද කියලා. මගේ
අම්මා, තාත්තා එහෙමත් නැතිනම් අපේ පවුල මහ ලොකුවට සල්ලි තියෙන පවුලක් නෙමෙයි.”



“අපි සාමාන්‍ය පවුලක්. ඒත් මගේ අම්මා, තාත්තා, ඒ වගේම ගුරුවරු මට උගන්නලා තියෙනවා අනුන්ගේ
දේවල් අපිට අයිති නැති දේවල් අයිති කර ගන්න හොඳ නැහැ කියලා.

අනුන්ට වරදක් කරන හැම වෙලාවට අපි හිතන්න ඕන ඒ වැරැද්ද අපිට වුණොත් කොහොමද කියලා. ඇත්තටම
එහෙම ජීවත් වුණොත් නොපෙනෙන බලවේග වුණත් අපිව ආරක්‍ෂා කරනවා.”

“එදා මම දුරකථන 10 භාර දුන්නට පස්සේ පොලිස් නිලධාරීන් පවා මට අනේක වාරයක් ස්තුති කළා. මට
එයින් දැනුණ සතුට මෙපමණයි කියලා කියන්න බැහැ. සතුට මුදල්වලට මිල කරන්න බැහැනේ.”

“කොටින්ම ආගම දහමට අනුව කීවොත් කරන කලට පව් මිහිරිය මීසේ  .... විඳින කලට දුක් දැඩිවෙයි
ගිනිසේ “ කියනවනේ.

“අද මම පුදුමාකාර විදිහේ සතුටකින් ඉන්නේ. ඒ මට අයිති නැති දේ නියම අයිතිකාරයා හොයලා
දුන්නට.” රශ්මි භාග්‍යා අවසන් වශයෙන් කීවාය.

සොරකම ජරාජීර්ණය. ඊට හවුල් වීම අමානුෂිකය. ඒ සොරුන්ගේ ගොඩට වැටී කෙස්ගහක තරම් දායකත්වයක්
ලබාදීමට සිදුවීම පෙර කළ කර්මවල ප්‍රතිඵලයකි. ඊට කිසිදු දායකත්වයක් නොදී වැළැකී සිටින්නට ලැබීම
වාසනාවකි. ඒ වාසනාව රශ්මි භාග්‍යා අද භුක්ති විඳින්නීය.

(සමන් ප්‍රියංකර නම්මුනිගේ)