ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පැවැසුවාය. 

ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරික්ෂා කිරිමක් හා බදු පැහැර හැරිම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන්නේ යැයි එම නිලධාරිනිය කීවාය. අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව බැඳී සිටින්නේ යැයි ද ඇය සඳහන් කළාය. ලෝක බලවතුන්, ධනවතුන් සහ දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් සිදුකෙරුණු බදු පැහැර හැරීම්,

අයථා ධනය රැස්කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය මෙසේ පැන්ඩෝරා ලියැවිලි නමින් අනාවරණයට පත් වූ අතර දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයකු වන තිරුකුමාර් නඩේෂන් හා ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂගේ තොරතුරු ද ඒ අතර විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර මසක් ඇතුළත වාරිතාව ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළ අතර ඒ අනුව එම කොමිසමෙන් ද විමර්ශනයක් සිදුවේ. ලෝක නායකයන්, දේශපාලනඥයන් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන ලක්ෂ 120ක් පමණ පැන්ඩෝරා ලියැවිලිවලින් අනාවරණය වී ඇතැයි පැවසේ.මේ අතර, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පැන්ඩෝරා අනාවරණයෙන් පසුව සිදුවීම්වලට අදාළ රාජ්‍යයන් ගන්නා තීන්දු හා විමර්ශන සම්බන්ධයෙන් ද වෙනම විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

(බිඟුන් මේනක ගමගේ)