okkampitiya-incident

ඔක්කම්පිටිය ප්‍රදේශයේ දානපතියකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය ඥාතීන් බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී. කාන්ත බිමල් රත්නායක මහතා පැවැසීය. අසූව දශකයේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් සිටි මොහු වෙල්ලස්සේ අහිංසක මිනිසුන්ට උදව් උපකාර කර තිබෙන බවත් පසුකාලීනව ඔහු අන්ත අසරණ තත්වයට පත්ව මැදගම නගරයට පැමිණ වසර විස්සක කාලයක් තිස්සේ සිගමන් යදිමින් කඩපිල්මත දිවි ගෙවා තිබේ.



සිගමන් යදිමින් සිටි අසූව හැවිරිදි ජයසේ නමැත්තා මැදගම පොළ භූමියේ මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක රෝහලට ගෙන ගොස් පී.සී.ආර්. පරික්ෂණයක් පැවැත්වීමෙන් පසු කොරෝනා රෝගියකු නොවීම නිසා සිරුර බාරගැනීමට පොලීසිය පවුලේ ඥාතීන් කැඳවා තිබේ. මියගිය පුද්ගලයාගේ බිරිය සහ දියණිය රෝහලට පැමිණ මියගිය අය හඳුනාගෙන කටඋත්තරයක් දීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.මැදගම පොලිසිය, ප්‍රාදේශීය සභාව, ලේකම් කාර්යාලය සමග වෙළෙඳ ප්‍රජාව එක්ව මියගිය දානපතියාගේ දේහය පොළ භූමියේදී මහජන ගෞරවයට තබා ගෞරවාන්විතව ආගමික වතාවත් සිදු කර දේහය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු ආදාහනය කෙරිණි.

නිල්වලාගොඩ විහාරයේ විහාරාධිපති මැදගමට චන්ද්‍රාලෝක හිමියන් ආගමික වතාවත් සිදු කිරිල්ලෙන් පසු මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම, උපසභාපති කේ.බී. කාන්ත බිමල් රත්නායක යන මහත්වරුන් සමග ප්‍රදේශවාසීහු අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගත්හ.

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)