රුසියාවේ 'ස්පුට්නික් 5' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීම ප්‍රමාද වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (14) පැවැසීය. ස්පුට්නික් 5 ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත තවමත් අපට ලැබිලා නැහැ.  නීතිමය ක්‍රියාපටිපාටිය සම්පුර්ණ වෙලා නැහැ. ප්‍රමාදයක් ඇත්තේ ඒ නිසයි යනුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී මරිඇන්ජෙලා සිමාඕ පැහැදිලි කළාය. ස්පුට්නික් 5 විකිණීම සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ  ‘රුසියානු සෘජු ආයෝජන මණ්ඩලය' හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගටම ඔවුන් සමග සාකච්ඡා කරන බවත්, ගැටලු සහගත තත්ත්වය ඉක්මණින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් මරිඇන්ජලා සිමාඕ එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පැහැදිලි කළාය.

ලොව පළමුවෙන් නිපදවූ කොවිච් 19 ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොවිච් 19  ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ද ස්පුට්නික් 5 ය. ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කර ඇත්තේ, එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත නොමැති බව පවසමිනි. එසේ වුවත් අද ලොව රටවල් 45 ක් ඔවුන්ගේ අභිමතය පරිදි "ස්පුට්නික් 5' එන්නත භාවිත කරයි. රුසියානුවන්ට ලබා දෙන්නේ ද මෙම 'ස්පුට්නික් 5' එන්නත වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එන්නතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

ගැටලු මතුවන්නේ එන්නත ලබාගෙන විදේශ ගතවන අය සඳහාය.

ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ද ලොව සෙසු රටවල් ද නිරෝධායනයකින් තොරව එම රටවලට පැමිණීමට අවසර ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් විදේශිකයන්ට පමණි. සෙසු එන්නත්  ලබා ගත් පිරිස නිරෝධානයට යොමු වීමත්, කොවිඩ් 19 පරික්ෂණ සඳහා යොමු වීමත් අනිවාර්ය වෙයි. "ස්පුට්නික් 5ප්‍රතිශක්තිකරණ එන්නත  නිපදවා ඇත්තේ  රුසියානු රජයට අයත් ‘ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගමය. මේ වනවිට ලොව භාවිතයට ගන්නා අනෙක් එන්නත් මෙන් නොව, "ස්පුට්නික් 5' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා එකිනෙකට වෙනස්ය. මේ වනවිට 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙන් එක් මාත්‍රාවක එන්නතක් ද නිපදවා තිබේ.

මෙය ද ලොව රටවල් කීපයක භාවිතයට ගැනෙයි. එපමණක් නොව, පළමුන්වෙන් සතුන් සදහා කොවිඩ් 19 එන්නතක් ද මෙම ගැමලේයා සමාගම නිපදවා තිබේ.  පසුගිය කාලය පුරාවට ද තම එන්නත අනුමත කරන්නැයි රුසියානු රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගැමලේයා සමාගම අවස්ථා කීපයකදී ලෝක සෞඛ්‍ය  සංවිධානයෙන් ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඒ, සෑම අවස්ථාවකදීම, ලෝක සෞඛ්‍ය සංවිධානය, "ස්පුට්නික් 5' එන්නත පිළිබඳ නොයෙක් නොයෙක් අඩුපාඩු පෙන්වා දෙන්න විය. යළිත් වරක් එන්නත අනුමත කරන්නැයි රුසියාව ඉල්ලා සිටියේ මීට සතියකට පෙරය.  එම ඉල්ලීම ද ප්‍රමාද වන බව පෙනෙයි.




රුසියාව දිගින් දිගටම චෝදනා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය  ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එන්නන්වලට පමණක් මුල්තැන දෙන බවත්,  බටහිර රටවල් සමග පවතින එදිරිවාදිකම් නිසා රුසියානු එන්නත 'කොන් කිරීමකට' ලක් කර ඇති බවත්ය. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම  චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. අද වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් අනුමත කර ඇත්තේ ‘ෆයිසර්', 'ඔක්සෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' (කොවිෂීල්ඩ් ද ඇතුළුව), මොඩර්නා', 'සයිනෝෆාම්’ සහ ‘සිනොවැක් යන එන්නත්ය. කොවිෂීල්ඩ්’ යනු ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන, ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය.