dambana-drug-abused-kekuli

දිඹුලාගල බිම්පොකුණ ප්‍රදේශයේ කැලැවක ඊයේ (14 වැනිදා) උදෑසන හෙරොයින් ලබාගනිමින් සිටි අවුරුදු 20 ක ආදිවාසී තරුණියක සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු හත් දෙනකු සමග අත්අඩංගුවට ගත්  බව අරලගංවිල පොලිසිය කියයි.  

අරගලගංවිල දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම්  දහඅටයි මිලිග්‍රෑම් විස්සක් සොයාගත් බවද පරික්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.  අත්අඩංගුවට ගත් දලුකානේ පදිංචි අවුරුදු විස්සක්  වයසැති ආදිවාසී කාන්තාව මීට පෙර අවස්ථා තුනකදීම හෙරොයින් ළග තබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් ලබා ඇති තරුණියක බවද පොලිසිය සඳහන් කරයි.


අත්අඩංගුවට ගත් සැකකාර සිවිල් ආරක්ෂක භටයා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට රිදී පොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන්නකු බවද පොලිසිය පවසයි.  අත්අඩංගුවට ගත් අනිත් සැකකරුවන්, වෙහෙරගම, බිපොකුණ, 8 කණුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද   පොලිසිය පවසයි.  මෙම සැකකරුවන් වයස අවුරුදු විස්සත්ක් තිහත් වයසේ පසුවන තරුණයන් බවත් ඔවුන් හෙරොයින්වලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් සහ ජාවාරමක් වශයෙන් සිදුකරන අයවලුන් බවද අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක, වසන්ත ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.  සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අරලගංවිල පොලිසිය පවසයි.


 (නිමල් ජයරත්න)