lady-ridgway-covid19

කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙන් කෙරුණු කොළඹ රිජ්වේ ආර්යා ළමා  රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු හයක් සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා යෙදවීමට පියවර ගත් බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.   ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවීම නිසා එම වාට්ටු මෙසේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා යෙදවූ බවද ඔහු කීය.  මේ අතර කොළඹ රික්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා අඩුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.




කොවිඩ් දෙවෙනි රැල්ල ආරම්භවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්  කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 200කට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ  ගොස් තිබිණි.  එහෙත් මෙම තත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරී ඇති අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් 10 දක්වා අඩුවී තිබේ.  කොවිඩ් ආසාදිත දරුවන් දස දෙසා දැනට ප්‍රතිකාර ලබන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු වාට්ටුවේ සහ එම රෝහල මගින් පවත්වාගෙන යනු ලබන රාජගිරිය ආයුර්වේද රෝහලේ වාට්ටුවේය.   මේ අතර ඩෙංගු ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් රෝහලේ ඩෙංගු ආසාදිත දරුවන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.


 -සුජිත් හේවාලිගේ