colombo-remand-prison

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට ගෙන 2019 වසරේ සිට රිමාන්ඩ් භාරයේ සිටින ඉරාන ජාතික රැඳවූවන් 12 දෙනෙකුගේ පිරිසකට පසුගිය දිනවල සැනිටයිසර් බෝතල් කිහිපයක් ලැබී ඇති අතර ඔවුන් මත්වීම පිනිස ඒවා පාවිච්චි කර ඇතැයි වාර්තාවේ. එය ලබාගත් පසුව විෂවීමෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ඔවුන් අතරින් දෙදෙනකු මේ වනවිට මියගොස් ඇත.


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික රැඳවූවන් පිරිස අතරින් සැනිටයිසර් විසවූ තවත් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය දන්වා තිබේ.

 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිටි ඉරාන ජාතිකයන් 12 දෙනකු පෙරේදා (13 වැනිදා) රාත්‍රී කාලයේදී දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබීජ නාශක දියර (සැනිටයිසර්) බෝතල්වලට වතුර මිශ්‍ර කර පානය කර තිබේ.
ඒ වන විට රැඳවූවන් පනස් පස්දෙනකු එච් වාට්ටුවේ රඳවා සිට ඇති අතර විසිහය දෙනකුම ඉරාන ජාතිකයන් ය.
එම රැඳවූවන් අතරින් එක් අයකු ඊයේ (14දා) උදෑසන මියගිය බවත්, තවත් අයකු ඊයේ දහවල් මියගිය බවත් දන්වා සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනෙකුත් ඉරාන ජාතිකයන් 10 දෙනා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන් කළේය.
මෙම ඉරාන ජාතිකයන් පානය කර ඇත්තේ ඉරාන තානාපති කාර්යාලය ලබාදුන් සැනිටයිසර් බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය පිළිබඳ ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර බොරැල්ල පොලිසිය මගින්ද පරීක්ෂණයක් පැවැත්වේ.