කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්ධීන්ට අදාළව නීතිය සකස් කරමින් තිබෙන බවත්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය නිර්මාණය කර තිබෙන්නේ, ජනතාවට බියෙන් සැකෙන් තොරව සිටිය හැකි සමාජයක් ඇති කිරීමට බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි. කාන්තාවට ගරු කරන සමාජයක අපරාධ සිදුවීම අඩු නිසා කාන්තාවන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගන්නා ලෙස පසුගියදා නියෝජ්‍ය පොලිස්ති තනතුරුවලට හා සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට  පත් වූ නිලධාරිනියන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.




මීට අමතරව කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්ධීන්ට අදාළව නීතිය සකස් කරමින් තිබෙන නිසා කාන්තාවන්ට තමාගේ කාර්යාලයකදී හෝ බස් රථයකදී හෝ දුම්රීයේදී හෝ වෙනත් ස්ථානයකදී බියෙන් සැකෙන් තොරව සිටිය හැකි වටපිටාවක් සකස් කිරීමට අදාළ යෝජනා ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා විසින් මෙම නිලධාරීනියන්ට උපදෙස් ලබාදුන් බවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.  පසුගිය දිනවල නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වීම ලැබූ පොලිස් නිලධාරීනියන් තිදෙනා සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීන් 12දෙනා අතර මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා හා පැවැති  සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.


 -ඉන්දික හේවාවිතාරණ-